Sunday, June 10, 2018

"Naduth hamuduruwange baduth hamuduruwange"



නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ 





                




සමාජයක් තුළ විවිධාකාරයේ වෘත්තීන් රැසක් දක්නට ඇත. නමුත්, එම සෑම වෘත්තියක් ම අතරින් ලොව උතුම් ම වෘත්තිය ගුරු වෘත්තියයැයි පැවසුවොත් මා නිවැරදිය. එයට හේතුව වන්නේ කිනම් වෘත්තියකට වුව ද පදනම සපයනු ලබන්නේ ගුරු වෘත්තිය මඟින් වීමයි. එසේනම්, එහි ඇති වටිනාකම පිළිබඳ ව සියල්ලෝ ම හොඳින් වටහා ගත යුතුය. එය නිසි අයුරින් සිදුනොවීමේ ප්‍රතිඵලයක් ලෙස නූතන සමාජය තුළ ගුරු වෘත්තිය යන්න ඉතා පහත් තලයකට වැටී ඇත. 


නමුත්, මේ වන විට එම වෘත්තියෙහි ඇති වටිනාකම ඉතා නින්දිත ලෙස හෑල්ලුවට ලක්කරමින් විවිධාකාරයේ කප්පාදු කිරීම් සහ හිතුමතේ සිදුකරන බොහෝ වෙනස්කම්වලට භාජනය වී ඇත. එමඟින් සිදුවන්නේ මුළු රටට ද විශාල පාඩුවකි. සැමවිට ම රට පුරා නිතර අසන්නට ලැබෙන ප්‍රකාශයක් වන්නේ බුද්ධිමත් දරු පරපුරක් අනාගතයට දායාද කිරීම පිළිබඳ ව ය. එහෙත් මෙම ක්ෂේත්‍රයේ මෙකී විවිධ තීරණ මඟින් ඇති කරන වෙනස්කම් ඔස්සේ එවන් දරු පරපුරක් අනාගතයේ බලාපොරොත්තු විය හැකි ද යන්න මා හට නම් ඒ පිළිබඳ ව සිතන විටත් විහිළුවකි. රටක බුද්ධිමත් දරු පරපුරක් සෑදීමට ප්‍රථම ඒ සඳහා අවැසි නිසියාකාර උගත්, බුද්ධිමත් පිරිසක් ගුරු වෘත්තියෙහි යෙදවිය යුතුය. එසේ සිදුකිරීමට නම් ඒ සඳහා තෝරා ගන්නා පිරිස් සඳහා නිවැරදි සුදුසුකම් ඒ අයුරින් ම තිබේදැයි සළකා බැලිය යුතුය. 


රටක් සංවර්ධනය කිරීමට යොදා ගත හැකි සාර්ථක ම ක්‍රමය වන්නේ රටේ තරුණ ශ්‍රම බලකාය නිවැරදි ලෙස දායක කර ගැනීමයි. නමුත් එය එසේ ම සිදුවනවා ද යන්න මහත් වූ ගැටලුවකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමාකොට රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින උපාධිධාරීන් රාශියක් තවමත් නිවෙස්වලය. රටට අවැසි ම වූ ඔවුනගේ තරුණ ශ්‍රමය මේ වන විටත් නිකරුණේ අපතේ යමින් පවතී. එසේ සිට බොහෝ දෙනෙකුට තම රැකියාව සඳහා පත්වීම් ලැබෙනුයේ විශ්‍රාම යෑමටත් ළං වන කාලසීමාවේ දී ය. පාසල්වල සිටින ඇතැම් ගුරුවරු දුටු විට සිතෙනුයේ මොවුන්ට විශ්‍රාම යෑමට ඉඩ සළස්වා දුන්නේ නම් එය ඔවුනට මෙන් ම ගුරු ක්ෂේත්‍රයට ද කරන උපකාරයක් ලෙස ය. එයට හේතුව ඔවුන් තම විෂය පවා ඉගැන්වීමට දක්වන්නේ ඉතා අලස බවක්ය. එවිට බුද්ධිමත් තරුණ පරපුරක් රටට දායාද කළ හැකි ද? එවැනි ස්ථාන සඳහා තරුණ ශ්‍රමය නිකරුණේ අපතේ යවමින් නිවෙස්වල රැඳී සිටින උපාධිධාරීන්ට ලබා දුන්නේ නම් ඔවුන් ඉතා ක්‍රියාශීලී ලෙස තම ක්ෂේත්‍රය තුළ පාසල් දරුවන්ගේ ද අවධානය දිනා ගනිමින් තම කර්තව්‍යය නිවැරදි ව ඉටුකරනවා ඇත. 


මේ වන විට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණු කාලසීමාවන්වල ද විවිධාකාරයේ ගැටලු මතු ව පවතී. එයට අමතර ව මෙම ගුරු වෘත්තීන් සඳහා සුදුසුකම් නොමැති පුද්ගලයින් ද විවිධාකාරයේ දැන හැඳුනුම්කම් මත බොහෝ ස්ථරවල රැඳී සිටිති. එය වූ කලී “බල්ලාගේ වැඬේ බූරුවාට පැවරීමකි”. නිසි ආකාරයේ සුදුසුකම් නොමැති අය මෙම ක්ෂේත්‍රයට පත් කිරීමෙන් කෙතරම් ව්‍යසනයක් සිදුවනවාදැයි මතුපිටින් බලන පුද්ගලයෙකුට එකවර නොපෙනෙන කරුණකි. එය මෙම ගුරු වෘත්තියේ ස්වභාවයයි. එනම්, වෛද්‍ය වෘත්තීන් වැනි වෘත්තීන්වල දී අදාළ සුදුසුකම් නොමැති වෛද්‍යවරු ක්ෂේත්‍රයට ඇතුළත්වීමේ අයහපත් ප්‍රතිඵලයක් ලෙස රෝගීන් මිය යෑම වැනි ඛේදජනක සිදුවීම් සෘජු ව ම දැකගත හැකිය. නමුත්, ගුරු වෘත්තීන් තුළ දී එය සිදුවනුයේ ඉතා සෙමිනි. එසේ ම එය සමාජයට ඉතා බලපෑම්කාරී විය හැකිය. දෙමව්පියන්ගෙන් හා නිවසින් මිදුණු දරුවාගේ මීළඟ හිතවතුන් වන්නේ ගුරුවරුන් හා පාසලයි. ගුරුවරයෙකුට ළමයෙකු “අහිංසක” කෙනෙකු මෙන් ම “අංගුලිමාල” කෙනෙකු කිරීමට ද හැකියාව ඇත. එය අපට බුද්ධකාලීන සමාජයෙන් ලැබුණු වැදගත් ඔවදනකි. එසේ නම් සමාජයේ කේන්ද්‍රස්ථානය ගුරු වෘත්තිය නොවන්නේ ද? පාසල  තුළ දී නිවැරදි මඟ පෙන්වීමක් නොලැබුණේ නම් අවසානයේ එම දරුවන් සොරුන්, මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයින් මෙන් ම බේබද්දන් විය හැකිය. 

යමෙකු විසින් සමාජය තුළ දී යම්කිසි වරදක් සිදුකළ විට ඔහුට හෝ ඇයට දෝෂාරෝපණය එල්ල වනුයේ එම පුද්ගලයාගේ මව පියාගේ සිට හත්මුතු පරම්පරාවට ම ය. එහි එක් කොනක් ඔහුට හෝ ඇයට ශිල්ප සතර ලබා දුන් ගුරුවරුන්ට ද එල්ලවේ. එසේ බලන කළ රටක් තුළ ගුරු වෘත්තියේ නියැලෙන්නාට කෙතරම් වගකීමක් හිමිවේද? එවැනි ක්ෂේත්‍රයක් පිළිබඳ වගකිවයුත්තන් විසින් මෙසේ හිතුමතේට තම තමාට අවශ්‍ය ආකාරයට තීන්දු තීරණ ගත හැකි ද? ගුරු වෘත්තියෙහි වටිනාකම දන්නා පුද්ගලයින් එම ක්ෂේත්‍රවල ඉහළ ස්ථරයන්හි කටයුතු කළේ නම් වර්තමානයේ දැකිය හැකි හිඟමන් සංස්කෘතියක් ගුරු වෘත්තිය තුළ දැකගත නොහැකිය. එක් අතකින් කල්පනා කරන විට එහි අරුමයක් ද නැත. එයට හේතුව වන්නේ එම ක්ෂේත්‍රයන් තුළ සිටින වගකිවයුත්තන් ද එම ස්ථානවලට පැමිණ ඇත්තේ අදාළ සුදුසුකම් සර්වසම්පූර්ණ කිරීමෙන් නොව වෙන වෙන කත්කාරයින්ට බර ඇදීමෙන් ය. එසේ නොවේනම් මෙතරම් ව්‍යසනයක් සිදුවන විටත් ඇස් කන් පියා සිටිය හැකි ද? අදාළ ක්ෂේත්‍රයන් තුළ නිවැරදිදේට නැගී සිටීමට තරම්වත් ශක්තිමත් කශේරුකාවක් නොමැති පුද්ගලයින් මෙවන් ක්ෂේත්‍ර තුළ එසේ පත්කොට ඇත්තේ වෙනත් පාර්ශවකරුවන්ට තම කාර්යයන් පහසු කර ගැනීමට අතකොළු කර ගැනීමේ හැකියාව පවතින නිසාය. මෙහි තවත් කණගාටුදායක සිදුවීමක් වන්නේ එවැනි සුදුසුකම් නොමැති පුද්ගලයින් යටතේ වඩාත් සුදුසුකම් පවත්නා සුදුස්සන්ට ද හිස නමාගෙන කරබා සිට තමාට පැවරුණු කාර්යයන් පමණක් සිදුකරගෙන සිටීමට සිදුවීමයි. රටේ සිටින ඇතැම් මුග්ධ පාලකයින් මෙන් ම මෙම ගුරු වෘත්තිය නැමැති ක්ෂේත්‍රය තුළ ද එකී තනතුරුවලට නුසුදුසු මුග්ධයින් යොදවා ඇත. මේවා දකින අපට සැමවිට ම සිතෙන්නේ “නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ” යන කියමන පමණකි.  

4 comments:

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...