Saturday, July 7, 2018

"Sigiriyehi Thorathuru"

සීගිරියෙහි තොරතුරු 





පෞඩ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයෙහි තවත් අභිමානී නිර්මාණයක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද, වාස්තු විද්‍යා සහ ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අට වන පුදුමය ලෙස ද පත්වන තරම් මහා කලාගාරයකි. අපගේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩනැගෙන්නේ සීගිරියේ නිර්මාතෘවරයා වූත්, දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටාය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විටය. සීගිරිය මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කඳු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරළයේ ශේෂ කඳු පන්තියක් ලෙස පිහිටා ඇත. මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටී. දිගින් කි.මී 3ක් ද, පළලින් කි.මී 1ක් ද, පමණ වන සීගිරිය මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගඩොල් මිශ්‍ර අති ශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි.ව. 5 වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අගල්, ආරක්ෂක කුටි, ස්වාභාවික ගල් ආරුක්කු ආදියෙනුත්, මල් උයන්වලින් හා හිරිගලින් සියුම් ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නම ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්‍රමයෙන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධයෙක් බව මොනවට පිළිඹිබු කරමිනි.
ප්‍රධාන අවධි


■ කාශ්‍යප යුගය (ක්‍රි.පූ. 3 - 5 දක්වා)
■ කාශ්‍යප යුගය (ක්‍රි.ප.ූ 475 - 497 දක්වා)
■ පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව. 6 - 13 දක්වා)
■ අප්‍රකට යුගය (ක්‍රි.ව. 13 - 17 දක්වා)
■ මහනුවර යුගය (ක්‍රි.ව. 17 - 19 දක්වා)
■ නූතන යුගය (ක්‍රි.ව. 19 සිට අද දක්වා)


මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් අයුරින් සිටින සිංහරාජයෙකුගේ විලාසයෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය නාමය පටබැඳී ඇත. සිංහරාජයා තුළින් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟීමක් දැනවුවත්, සිංහ රූපය දැකීමෙන් එහි ගිය පැරැන්ණන් තරම් ම නූතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වූ බව 1898 දී ඒ.එච්.සී.පී. බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂ ව ඇත්තේ සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනෙකු තුළ ප්‍රතාපය හා බලය පිළිබඳ අපූරු හැඟීමක් දැනවීමට එය ප්‍රමාණවත් බව කැටපත් පවුරෙහි ලියැවුණු ගී වලින් පැහැදිලි වේ. 


සීගිරියෙහි දක්නට ලැබෙන විශේෂත්වයන්...... 

 පර්වත මස්තකයෙහි තිබෙන රජ මාළිගාව
■ ගඩොලින් තැනූ සිංහයාගේ රූපය
■ පර්වත ශිඛරයෙහි ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
■ සීගිරි කැටපත් පවුර 



පුරාවිද්‍යාත්මක නටඹුන් හා විශේෂ ලක්ෂණ 


සීගිරිය දිගුකල් ඛාදනයට ලක්වූ ගිනිකන්දකින් පිට වී සිසිල් වුණු ආග්නේය පාෂාණයන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. පර්වතය මීටර 370ක් උස වන අතර සෑම පැත්තකින් ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙස නෙරා ඇත. ක්‍රි.ව. 5 වන සියවසේ දී කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිඟයෙහි නටඹුන් මෙම පර්වතයෙහි මතුපිට පිහිටා තිබේ. මධ්‍යයෙහි ඇති සමතලා බිමෙහි සිංහ ද්වාරයක් මෙන් ම කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පර්වතයෙහි පහළ බෑවුමට වන්නට පහළ මාළිඟාව නිර්මාණය කර ඇත්තේ දිය අඟල් තාප්පය හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර සිය ගණනක් ඈතට වන්නටය. මෙම භූමිය මාළිඟාවකින් මෙන් ම බලකොටුවකින් ද යුක්තය. දැනට ඉතිරි ව තිබෙන නටඹුන්වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ට හැකියාව හා නිර්මාණශීලීත්වය පිළිබඳ අගනා හැඟීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි. සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැළසුම්කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස දැක්විය හැකිය. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යානය රාජකීයයන් උදෙසා සුදුසු ලෙස සකස් කර ඇත. උද්‍යානයෙහි ජලය රඳවා ගන්නා ව්‍යුහය ද නිර්මාණය කර ඇත. ඒවා සකස්කිරීමේ දී පොළව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අද ද ක්‍රියාත්මක මට්ටමෙහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිමකළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහි ද බොහෝසෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථානවල දොරටු 5කි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති අතර බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක.


සීගිරිය වූකලී සංස්කෘතික කෞතුකාගාරයකි


■ ක්‍රි.ව. 5 වන සියවසේ පැවති නාගරික සැළසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
■ ඉංජිනේරු විද්‍යාව
■ ජල තාක්ෂණය
■ ගෘහ නිර්මාණ ශිල්පය
■ කලා ශිල්ප හා සාහිත්‍යය 



එසේ ම මෙම වාස්තු විද්‍යාත්මක කලාව සඳහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසංගත සැළසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතයක් මත මාළිඟා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ගඩොල් රැගෙන ආ සැටි පුදුමසහගතය. මලුපෙත්, ගර්භාගාර අතරින් ගඩොලමය පැතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වූ ශෛලමය සිංහාසනය විස්මයෙන් සිත අලලන සුළු ය. සීගිරිය නම් වූ මහා වාස්තු විද්‍යාත්මක සැළසුම්කරණ වික්‍රමයේ හදවතත්, කේන්ද්‍රස්ථානයත් වූයේ මේ මාළිඟාවයි. ගල මුදුනේ අක්කර තුනහමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාළිඟය රාජ්‍ය බලයත්, මිනිස් ශ්‍රමයත් කැටිකොට පිළිඹිබු කරන කදිම ස්මාරකයකි. තව ද මාළිඟයේ අගය තීව්‍ර කරමින් ඉදිරියට දිවෙන ශිලා උද්‍යාන, දිය අඟල්, හා බුබුළු නගමින් පතිත වන දියමල් කැලකින් සැදුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියාපාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞශල්‍යයත්, විසිතුරු චින්තනයත් ය. 


සීගිරි ගී


ක්‍රි.ව. 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත්පූජිත කලා නිකේතනයක් බවට පත් විය. ශ්‍රී ලංකා ඉතිහාසයෙහි සීගිරිය සුවිශේෂී ස්ථානයක් ගන්නා අතර සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂී ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමිවේ. මෙම ගීතවලින් බොහොමයක් 8, 9 හා 10 වන සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය. පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපූර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිඹිබු වේ. මේ තුළින් එකළ කවියන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළිවේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. ව්‍යංගාර්ථයෙන් හා වක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සීගිරි ගී හැඳින්වේ. 


සීගිරි බිතුසිතුවම්






සීගිරි බිතුසිතුවම්වල දක්නට ඇති විශේෂත්වය නම් මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ රූප පමණක් වීමත්, ඒවා ඉඟටියෙන් ඉහළ නග්න රූප පමණක් වීමත්ය. මෙම චිත්‍ර ඇඳීමේ දී දේශීය අමුද්‍රව්‍ය භාවිතකොට ඇති අතර වර්ණ සකසා ගැනීමේ දී වියළි කලාපයේ බහුල ව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිත කර තිබේ. එනම්, ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදිය වේ. ලලනාරූප පින්තාරු කිරීමේ දී අනුව ශිල්පියා වර්ණ මඟින් අඳුරු ආලෝකය ගෙන රූපවල ත්‍රිමාණත්වය මතුකිරීමට ශිල්පියාගේ තෙළිතුඩ සමත් වී ඇත. එසේ ම ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූල ව තෙළිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙස ය. සාහිත්‍යයේ කල්පිතයන්ට එකඟ ව දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි, සිහිනිඟ, පුළුලුකුල, පුන්පියයුරු, දෙතොල් සහ දෙකොන සිහින් ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර කර තිබේ. 


ලක්දිව ලෞකික චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී සීගිරි චිත්‍ර ප්‍රධාන වේ. දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි. ක්‍රි.ව. 8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502කගේ චිත්‍ර පිළිබඳ ව සඳහන් වේ. ප්‍රධාන වශයෙන් සීගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර ඊට අමතර ව දැරණියගල ගුහාව, වතුර බක්කිගල ගුහාව, නයිපෙන ගුහාව (ප්‍රමක ලෙන) යන ස්ථානවලින් ද සිතුවම් හමුවී තිබේ. මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප සීගිරි ශිල්පීන් ඔවුන්ගේ චිත්‍ර සඳහා වස්තු විෂය කර ගෙන ඇති අතර එකී නාරි රූප වළාකුළුවලින් නික්මෙන්නා සේ ඇඳ තිබේ. කාන්තා රූප වළාකුලුවලින් මතුවන්නියන් ලෙස උකුලෙන් යටි කොටස වළාකුළුවලට වැසී ඇත. මෙම වළාකුළු රන් පැහැතිය. හිරු බැස යන අවස්ථාවේ රතු පාට වළාකුළුවලින් මතුවන මෙම කාන්තාවන්ගේ පසුබිමේ කිසිවක් නොමැති ව හිස් අහසක් පමණක් තිබීම විශේෂත්වයකි. මේ චිත්‍ර සහ සන්ධ්‍යාවේ සම්බන්ධය ගැන එක් කුරුටු ගීයක ද සඳහන් වේ. හිරු බසින විට හැකිලෙන නෙළුම් මල් හා මහනෙල් මල් එය සන්ධ්‍යාවක් බව සනාථ කරයි. සීගිරි කතුන් අතර නිල්වනුවන් මෙන් ම රන්වනුවන් ද සිටිති. පරණවිතාන මහතා සඳහන් කරන්නේ රන්වනුවන් විජ්ජුලතාවන් ලෙසත්, නිල්වනුවන් මේඝ කුමරියන් ලෙසත් ය. සන්ධ්‍යාභාගයේ දී අප්සරාවන් ඉදිරිපත් කරන රැඟුමන් සීගිරි චිත්‍රවලින් ඉදිරිපත් කෙරේ. ඇතැම් කාන්තාවෝ මල් පුබුදුවති. තවත් සමහරෙක් ඒ මල්, වට්ටිවලට එකතු කරති. පුබුදුවන මල් බිමට දමන කාන්තාවෝ ද වෙති. තවත් කාන්තාවන් මල් දෙස බලා සිටිති. මෙම රැඟුමට සංගීත භාණ්ඩ ද එකතු කර ගෙන තිබේ. ඒ බව කුරුටු ගීවල සඳහන් ය. මල්වල ඇති මෘදුමොළොක් බව, සුන්දරත්වය හා සුවඳ සමඟ කාන්තාවගේ ඇති සම්බන්ධතාවයත්, සංගීත රටාවට අනුව සිය අත්වලින් මල් පිළිබඳ ව කටයුත්තක් කරමින් රැගුමක් ඉදිරිපත් කරන බවක් මෙම සීගිරි චිත්‍රවලින් පැහැදිළිවේ.
 

භාවිත කර ඇති ශිල්පීය මූලධර්ම 


චිත්‍ර ශිල්ප මූලධර්ම 6ක් පැරණි යුගයේ භාවිත වී ඇත. එනම්, ප්‍රමාණ, භාව, රූප, භේද, ලාවන්‍යායෝජන, වර්ණකාංග සහ සදෘශ්‍යකරණය යනුවෙනි. මෙම මූලධර්මයන්ට අනුකූල ව සීගිරි චිත්‍ර නිර්මාණය කර ඇත. එසේ ම සිරුර නැමෙන විට උදරයේ ඇති වන රැලි ඉතා පැහැදිලි ව මෙහි දී දක්නට ලැබේ. එම ස්වභාවය මෙම චිත්‍රවල තාත්විකත්වය ආරක්ෂා කිරීමට ඉවහල් වී තිබේ. 

 ඉරියව් : දැනට ශේෂ ව ඇති කාන්තා රූප සියල්ලෙහි ම හිටි ඉරියව් දැක්වේ.
■ ප්‍රමාණ : සීගිරි සිතුම්වල උඩුකය පමණක් දර්ශනය වන නිසා ඇඳ ඇති ප්‍රමාණ කිව නොහැකි වුව ද අෂ්ටතාල ක්‍රමය අනුගමනය කර තිබේ.
■ භාව : චිත්‍රයකින් හෝ මූර්තියකින් භාව ප්‍රකාශ වනවා නම් එය සජීවී ව පෙනේ. සීගිරි චිත්‍ර භාවයන්ගෙන් අනූනය. මේ නිසා සීගිරි කුරුටු ගී ලියූවෝ අප්සරාවන්ගේ භාවයන්ගෙන් කුල්මත් වී තම සිතැඟියාවන් ලියූහ. එසේ ම භාව ප්‍රකාශන අතින් ප්‍රධානස්ථානය මුහුණට හිමිවේ.

■ ලාවන්‍යයෝජන : ලාවන්‍යයෝජන යනු, චිත්‍රයකට සුන්දරත්වය එක් කිරීමයි. ශාරීරික සුන්දරත්වය ඔපවත් වනුයේ උචිත ලෙස වර්ණ යොදා දැක්වීමෙනි. ආලෝකය අවශ්‍ය ස්ථානයට ආලෝකය ද, අඳුර අවශ්‍ය ස්ථානයට අඳුර ද තිබිය යුතුය. සීගිරි චිත්‍රවල ලාවන්‍යයෝජනය මැනවින් දැකිය හැකිය. එය කාන්තාවන්ගේ සුන්දරත්වය කැපී පෙනීමට හේතු වී ඇත.

 වර්ණකාංග : එනම්, චිත්‍ර ඇඳීමේ දී සායම් මිශ්‍ර තෙළිතුඩ හැසිරවීමේ ක්‍රමයයි. සීගිරි චිත්‍ර ඇඳීමේ දී ගුරුපාට සායමකින් සැකිල්ල ඇඳ ඊට පසු ඒ ඒ තැනට උචිත සායම්වලින් සම්පූර්ණ කර තිබේ. එමෙන්ම නාරි දේහයේ ලාලිත්‍යයට අනුකූල ව තෙළිතුඩ ගමන් කරමින් මෙම චිත්‍ර ඇඳ තිබේ. සීගිරි චිත්‍ර වියළි බදාමයක් මත නිර්මාණය කිරීම නිසා “ටෙම්පරා” ගණයට අයත් වේ. 

ඉතා මෑතක දී පුද්ගලයෙකුගේ තීන්ත පහරකින් සීගිරි සිතුවම් විනාශ වූ පසු එම චිත්‍ර නැවත ප්‍රකෘති තත්වයට පත්කරන ලද්දේ ඉතාලි ජාතික ආචාර්ය ලුසියානෝ මරන්සි මහතා විසිනි. 
(මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ සැකසුවකි)

                                                                                                               - චතූ -

2 comments:

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...