සීගිරි බිතුසිතුවම්වල දක්නට ඇති විශේෂත්වය නම් මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ රූප පමණක් වීමත්, ඒවා ඉඟටියෙන් ඉහළ නග්න රූප පමණක් වීමත්ය. මෙම චිත්‍ර ඇඳීමේ දී දේශීය අමුද්‍රව්‍ය භාවිතකොට ඇති අතර වර්ණ සකසා ගැනීමේ දී වියළි කලාපයේ බහුල ව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිත කර තිබේ. එනම්, ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදිය වේ. ලලනාරූප පින්තාරු කිරීමේ දී අනුව ශිල්පියා වර්ණ මඟින් අඳුරු ආලෝකය ගෙන රූපවල ත්‍රිමාණත්වය මතුකිරීමට ශිල්පියාගේ තෙළිතුඩ සමත් වී ඇත. එසේ ම ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූල ව තෙළිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙස ය. සාහිත්‍යයේ කල්පිතයන්ට එකඟ ව දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි, සිහිනිඟ, පුළුලුකුල, පුන්පියයුරු, දෙතොල් සහ දෙකොන සිහින් ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර කර තිබේ.
ලක්දිව ලෞකික චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී සීගිරි චිත්‍ර ප්‍රධාන වේ. දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි. ක්‍රි.ව. 8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502කගේ චිත්‍ර පිළිබඳ ව සඳහන් වේ. ප්‍රධාන වශයෙන් සීගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර ඊට අමතර ව දැරණියගල ගුහාව, වතුර බක්කිගල ගුහාව, නයිපෙන ගුහාව (ප්‍රමක ලෙන) යන ස්ථානවලින් ද සිතුවම් හමුවී තිබේ. මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප සීගිරි ශිල්පීන් ඔවුන්ගේ චිත්‍ර සඳහා වස්තු විෂය කර ගෙන ඇති අතර එකී නාරි රූප වළාකුළුවලින් නික්මෙන්නා සේ ඇඳ තිබේ. කාන්තා රූප වළාකුලුවලින් මතුවන්නියන් ලෙස උකුලෙන් යටි කොටස වළාකුළුවලට වැසී ඇත. මෙම වළාකුළු රන් පැහැතිය. හිරු බැස යන අවස්ථාවේ රතු පාට වළාකුළුවලින් මතුවන මෙම කාන්තාවන්ගේ පසුබිමේ කිසිවක් නොමැති ව හිස් අහසක් පමණක් තිබීම විශේෂත්වයකි.
මේ චිත්‍ර සහ සන්ධ්‍යාවේ සම්බන්ධය ගැන එක් කුරුටු ගීයක ද සඳහන් වේ. හිරු බසින විට හැකිලෙන නෙළුම් මල් හා මහනෙල් මල් එය සන්ධ්‍යාවක් බව සනාථ කරයි. සීගිරි කතුන් අතර නිල්වනුවන් මෙන් ම රන්වනුවන් ද සිටිති. පරණවිතාන මහතා සඳහන් කරන්නේ රන්වනුවන් විජ්ජුලතාවන් ලෙසත්, නිල්වනුවන් මේඝ කුමරියන් ලෙසත් ය. සන්ධ්‍යාභාගයේ දී අප්සරාවන් ඉදිරිපත් කරන රැඟුමන් සීගිරි චිත්‍රවලින් ඉදිරිපත් කෙරේ. ඇතැම් කාන්තාවෝ මල් පුබුදුවති. තවත් සමහරෙක් ඒ මල්, වට්ටිවලට එකතු කරති. පුබුදුවන මල් බිමට දමන කාන්තාවෝ ද වෙති. තවත් කාන්තාවන් මල් දෙස බලා සිටිති. මෙම රැඟුමට සංගීත භාණ්ඩ ද එකතු කර ගෙන තිබේ. ඒ බව කුරුටු ගීවල සඳහන් ය. මල්වල ඇති මෘදුමොළොක් බව, සුන්දරත්වය හා සුවඳ සමඟ කාන්තාවගේ ඇති සම්බන්ධතාවයත්, සංගීත රටාවට අනුව සිය අත්වලින් මල් පිළිබඳ ව කටයුත්තක් කරමින් රැගුමක් ඉදිරිපත් කරන බවක් මෙම සීගිරි චිත්‍රවලින් පැහැදිළිවේ.
(මූලාශ්‍ර ඔස්සේ සැකසුවකි)
(මූලාශ්‍ර ඔස්සේ සැකසුවකි)
- චතූ -
Wadagath lipiyak...
ReplyDelete