Friday, January 18, 2019

"Bodilima Sankalpaya"

බෝදිලිමා සංකල්පය 




උරග ලොවේ භූතාත්මලාභියෙකු ලෙස සැලකෙන බෝදිලිමා කටුසු පවුලේ සාමාජිකයෙකි. බෝදිලිමා පිළිබඳ ජනශ‍්‍රැති බොහෝ දුරට ජනප‍්‍රියව පවතින්නේ නුවරකලාවිය ප‍්‍රදේශයේ ය. බෝදිලිමාගේ ප‍්‍රභවය සම්බන්ධයෙන් විමසන විට පෙනී යන්නේ ඒ හා සබැඳි ජනශ‍්‍රැතීන් කිහිපයක් පවතින බවය. එබඳු ජනශ‍්‍රැතියකට අනුව ගර්භණී කාන්තාවකට ඇගේ ස්වාමියා විසින් පහර දී නිවසින් පිටුවහල් කොට ඇත. පහර කෑ වේදනාවෙන් දරුවා ප‍්‍රසූතකොට ගත නොහැකි ව මළ ඈ බෝදිලිමා ආත්මයක් ලබා ඉපිද ඇත. මෙසේ භූතාත්මයක් ලද ඇය ප‍්‍රසූත වේදනාවෙන් හ`ඩ නගන ගැබිණියකගේ හඬට සමාන හඬක් නගමින් රාත‍්‍රියේ දී පිරිමින් බිය ගැන්වීමට පටන් ගෙන තිබේ. මේ හා සමානව තවත් ජනශ‍්‍රැතියක දැක්වෙන්නේ ඉතා ආදරයෙන් ආශ‍්‍රය කළ ගම්බද යුවළකට දාව දරුවෙකු ලැබෙන්නට ගිය අවස්ථාවේ බිරිඳ තිඹිරි ගෙය තුළ දී ම මියගොස් බෝදිලිමකු වී උපත ලද බවය. මේ අවස්ථාව හා සම්බන්ධිත ජන කවියක් ද ජනශ‍්‍රැතියේ හමුවේ.

                       පහන් වෙනට දෝ කුකුළන්        හඬලන්නේ
                           බඬේ කැක්කුමක්දෝ මට           අල්ලන්නේ
                           කිල්ලක් නිසා දෝ හිමි ගෙට      නේන්නේ
                           පණ යනවා හිමි මේ ගෙට           වරෙන්නේ

තිඹිරිගෙය තුළ වින්නඹු මව සමඟ සිටින ගම මහගේ තම සැමියා නොදකින්නට වීම නිසා ගැයූ මේ කවිය කියා අවසන් වනවාත් සමඟ ඈ මියගියාය. කෙසේ වෙතත් බෝදිලිමාගේ උපත ගැන කියැවෙන මෙම කතා දෙකින් ම කියවෙන්නේ මෙම කාන්තාව ප‍්‍රසූත වේදනාවෙන් මිය ගිය බවය. මෙසේ මියගොස් උපත ලද බෝදිලිමා පිරිමින්ට ඇති ආදරය නිසා පසුපස එන බව එක් කතාවකත්, පිරිමින් සමඟ ඇති වූ වෛරයෙන් ඔවුන් පසුපස එන බව අනෙක් ජන කතාවේත් සඳහන් වේ. 

”ආර්. එල්. ස්පිට්ල්ගේ” ”Wild Ceylon” ග‍්‍රන්ථයේ සඳහන් කොට ඇත්තේ ”අදෝම...... අ....... දෝම.......” යන හඬින් හඬනා බෝදිලිමා ලේ උරා බොන [Boold Sucker] සතෙකු වශයෙනි. බෝදිලිමෙකු ලේ උරා බිවු බවට මේ දක්වා කිසිදු තොරතුරක් හමු වී නැත. සත්ත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ බෝදිලිමා කෘමි සතුන් ආහාරයට ගන්නා සතෙකු ලෙසය. කෙසේ වෙතත් මේ සත්ත්වයා නඟන හඬ බොහෝ දුරට ප‍්‍රසව වේදනාවෙන් කෑ ගසන කාන්තාවකගේ හඬට සමාන බව නම් සත්‍යයකි. 

                  තඩි ඔලූ ගෙඩියක් සහිතව දිගු දත් දළ දෙකක්          ඇතිව
                      රතු ඇස් දිගු වළිගයකින කේවර වළිගයක්               ලෙසින
                      කෙළ වෙනුවට රත්පැහැලේ මුව දෙපසින් වගුරා      ගෙන
                      පිරිමින් හට වින කෙරුවයි තුං මංසල සැඟවී             ගෙන

මෙම සත්ත්ව ශ‍්‍රැතියෙන් සංජානනය කෙරෙන ජන විඥ්ඥාණයේ ස්වරූපතා කිහිපයක් හඳුනාගත හැකිය. මෙම කතාව නිර්මාණය වී ඇත්තේ බෝදිලිමාගේ නාදය පසුබිම් කොට ගෙනය. ආදිකාලීන මිනිසා ප‍්‍රසව වේදනාවෙන් කෑ ගසන කාන්තාවගේ හඬත් බෝදිලිමාගේ හඬත් එක සමාන බව දැක එය පදනම් කර ගනිමින් උක්ත කතාන්දර ගොතන ලද බව පෙනේ. පුනරුත්පත්තිය ගැන විශ්වාසය තැබූ මිනිසා මේ අත්භවයේ යම් ප‍්‍රතිඵල ඊළඟ අත්භවයේ දී ක‍්‍රියාත්මක වන බවට ලද ආගමික පරිචය ද මේ සඳහා උපයුක්ත කොට ගෙන තිබේ. එසේම මේ කතාවේ යම් මනෝ විද්‍යාත්මක ලක්ෂණ ද හඳුනාගත හැකි බව පෙනේ. එනම් ලිංගිකමය වශයෙන් කාන්තාව සමීප වන්නේ පුරුෂයාටය. බෝදිලිමා කාන්තා භූතාත්මයක් වුවද ඈ ලූහුබඳින්නේ පිරිමින් පමණි. කරදර කරන්නේ පිරිමින්ට පමණි.

අවිඥාණිකව හෝ සවිඥාණිකව ජන මනස තුළ තැන්පත් වෙමින් විඥ්ඥාණමය කාරණා මෙම සත්ත්ව ශ‍්‍රැතියෙන් කලඑළි බසින බව පෙනේ. එසේම පූර්වයෙන් සඳහන් කතාවකට අනුව බෝදිලිමා ලෙස උපත ලබන්නේ ස්වාමියාගෙන් පහර කෑ තැනැත්තියකි. ඈ තම ඊළඟ ආත්මයේ පිරිමින් පසුපස ලූහුබඳින්නේ තමන්ට වූ අසාධාරණයන්ට පළි ගැනීමටය. පව් පල දෙන්නේය යන ආගමික සංකල්පය සේම ගර්භනී මාතාවන් ඉතා ගෞරවයෙන් රැුක බලා ගත යුතුය යන සමාජ සාරධර්මය ද මේ තුළින් උද්දීපණය වන බව පැහැදිලි වේ.


                                                                                                                           - චතූ -

No comments:

Post a Comment

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...