Monday, July 30, 2018

"Ellum Gaha"

“එල්ලුම් ගහ”




නූතනය වන විට විවිධාකාරයේ සාපරාධී ක්‍රියා දිනෙන් දින වැඩි වන ආකාරය මාධ්‍ය ඇසුරු කරන ලොකු කුඩා ඕනෑම අයෙක්ට දක්නට ලැබෙන සුලබ කරුණකි. මෙවන් අපරාධ බහුල ව සිදුවීමට බලපානු ලබන බොහෝ කරුණු සමාජයේ කොතෙකුත් දක්නට ඇත. එසේ ම එවන් සෑම අපරාධයකට ම නිර්දේශිත වූ දඬුවම් ක්‍රමයක් ද ඕනෑම රටක් තුළ පවත්නා නීතය තුළ අන්තර්ගතය. ඒ අතරින් එල්ලුම් ගස වූ කලී එම නීත්‍යානුකූල දඬුවම් අතර පවත්නා අවසාන දඬුවම් ක්‍රමය ලෙස හැඳින්විය හැකි දඬුවම් ක්‍රමයකි. මෙම දඬුවම් ක්‍රමය විවිධ රටවල් තුළ භාවිත කරන නමුත් ඇතැම් රටවල් තුළ විවිධ හේතූන් මත මෙකී දඬුවම් ක්‍රමය භාවිත නොකරයි. 


ලංකාව තුළ ද මෙම දඬුවම් ක්‍රමය අවස්ථාවන් කිහිපයක දී ම ක්‍රියාත්මක වූ නමුත් පසුකාලීන ව එය ලාංකීය නීතිය තුළින් ඉවත් කරන ලදි. නමුත්, වර්තමානය වන විට පවතින වාතාවරණය තුළ උද්ගත ව ඇති තත්වයන් හේතුකොට ගෙන නැවතත් ලාංකීය නීතිය තුළට මෙම දඬුවම් ක්‍රමය ගෙන ඒමේ පසුබිමක් නූතනයේ දක්නට ඇත. එහෙත් මෙම දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුළින් සිදුවිය හැකි ප්‍රතිඵලයන් කිහිපයක් ඇත. එනම්, මෙවන් දඬුවම්වලට පවත්නා බිය නිසා මිනිසුන් සාපරාධී ක්‍රියා සිදුකිරීමට බිය වෙති. එමඟින් සමාජය තුළ අපරාධ සිදුකරන්නන් යම්තාක්දුරට හෝ අවම කිරීමට හැකියාවක් ඇත. එසේ ම මෙම දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඔස්සේ ලැබෙන ඊළඟ ප්‍රතිඵලය වූ කලී ඉතාමත් කණගාටුදායක ප්‍රතිඵලයකි. එනම්, යම් වරදකට වරදකරු වූ පුද්ගලයෙකුට නීතියෙන් එල්ලුම් ගස නියම කළ ද සැබෑවට ම එම පුද්ගලයා වරදකරු නොවිය හැකිය. එවිට එතරම් කුරිරු දඬුවමකට මුහුණපෑමට සිදුවන්නේ නිර්දෝශී පුද්ගලයෙකුටය. එය කෙතරම් ශෝකජනක සිදුවීමක් විය හැකිදැයි ඔබට මෙතකැයි තක්සේරු කළ හැකි ද? වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දුන්නාට කම් නැත. නමුත්, සත්‍ය වශයෙන් ම එවැනි වරදක් සිදුනොකළ පුද්ගලයෙකු හට එවන් දඬුවමකට මුහුණ දීමට සිදුවීම කෙතරම් අසාධාරණ ද යන්න මොහොතක් සිතා බැලිය යුතුය. 


එවැනි අසාධාරණ සිදුවීමකට ඔබේ පියාට, සොහොයුරාට නැත්නම් ඔබේ දරුවාට මුහුණ දීමට සිදුවුවහොත් ඔබ කිනම් තත්වයකට පත්වේදැයි මොහොතක් සිතා බැලිය යුතුය. අනෙක් සෑම කරුණකට ම වඩා නිවැරදි පුද්ගලයෙකු අපරාධකරුවෙකුකොට එවන් දඬුවමකට බඳුන්වීමට සිදුවීම සමස්ත සමාජය තුළින් ම එකී පුද්ගලයාට කරනු ලබන සාපරාධී ක්‍රියාවකි. වෙනත් කෙනෙක් කළ වරදකට තම දිවියෙන් වන්දි ගෙවා දැමීමට කිසිම පුද්ගලයෙකු කැමති වන්නේ නැත. එමනිසා එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කරන්නැයි හඬ නගන මිනිසුන් මෙම පැතිකඩ පිළිබඳ ව ද සංවේදී ව මොහොතක් සිතා බැලිය යුතු ම ය. එසේ නොවුනහොත් මෙම දඬුවම් ක්‍රමය හෙට දිනයේ දී නිර්දෝෂී වූ ඔබේ පවුලේ අයෙක්ට වුව මුහුණ පෑමට සිදුවිය හැකිය.                         
                                                                                                                             - චතූ -

Friday, July 13, 2018

"Bindunu Hadawatha"

"බිඳුණු හදවත"





නිහඬ නිසල ව
සිටිය මා හට
ඇසුණි රහසින්
ඉකිබිඳින එක්
සිතක සුසුමක්........
කළෙමි විපරම්
වටපිටාව ම
නැත පෙනෙන්ට
කිසිදු දසුනක්........
නිමේෂයකින්
දැනුණි කිසිවක්
හැඳින ගත්තෙමි
ඉකිබිඳින හඬ........
වටපිටක නොව
සුසුම්ලනුයේ
මගෙම බිඳිගිය
හදවතියි ඒ........

               
                 - චතූ -

"Sigiri Bithusithuwam"

"සීගිරි බිතුසිතුවම්"





සීගිරි බිතුසිතුවම්වල දක්නට ඇති විශේෂත්වය නම් මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ රූප පමණක් වීමත්, ඒවා ඉඟටියෙන් ඉහළ නග්න රූප පමණක් වීමත්ය. මෙම චිත්‍ර ඇඳීමේ දී දේශීය අමුද්‍රව්‍ය භාවිතකොට ඇති අතර වර්ණ සකසා ගැනීමේ දී වියළි කලාපයේ බහුල ව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිත කර තිබේ. එනම්, ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදිය වේ. ලලනාරූප පින්තාරු කිරීමේ දී අනුව ශිල්පියා වර්ණ මඟින් අඳුරු ආලෝකය ගෙන රූපවල ත්‍රිමාණත්වය මතුකිරීමට ශිල්පියාගේ තෙළිතුඩ සමත් වී ඇත. එසේ ම ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූල ව තෙළිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙස ය. සාහිත්‍යයේ කල්පිතයන්ට එකඟ ව දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි, සිහිනිඟ, පුළුලුකුල, පුන්පියයුරු, දෙතොල් සහ දෙකොන සිහින් ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර කර තිබේ. 


ලක්දිව ලෞකික චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී සීගිරි චිත්‍ර ප්‍රධාන වේ. දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි. ක්‍රි.ව. 8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502කගේ චිත්‍ර පිළිබඳ ව සඳහන් වේ. ප්‍රධාන වශයෙන් සීගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර ඊට අමතර ව දැරණියගල ගුහාව, වතුර බක්කිගල ගුහාව, නයිපෙන ගුහාව (ප්‍රමක ලෙන) යන ස්ථානවලින් ද සිතුවම් හමුවී තිබේ. මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප සීගිරි ශිල්පීන් ඔවුන්ගේ චිත්‍ර සඳහා වස්තු විෂය කර ගෙන ඇති අතර එකී නාරි රූප වළාකුළුවලින් නික්මෙන්නා සේ ඇඳ තිබේ. කාන්තා රූප වළාකුලුවලින් මතුවන්නියන් ලෙස උකුලෙන් යටි කොටස වළාකුළුවලට වැසී ඇත. මෙම වළාකුළු රන් පැහැතිය. හිරු බැස යන අවස්ථාවේ රතු පාට වළාකුළුවලින් මතුවන මෙම කාන්තාවන්ගේ පසුබිමේ කිසිවක් නොමැති ව හිස් අහසක් පමණක් තිබීම විශේෂත්වයකි. 


මේ චිත්‍ර සහ සන්ධ්‍යාවේ සම්බන්ධය ගැන එක් කුරුටු ගීයක ද සඳහන් වේ. හිරු බසින විට හැකිලෙන නෙළුම් මල් හා මහනෙල් මල් එය සන්ධ්‍යාවක් බව සනාථ කරයි. සීගිරි කතුන් අතර නිල්වනුවන් මෙන් ම රන්වනුවන් ද සිටිති. පරණවිතාන මහතා සඳහන් කරන්නේ රන්වනුවන් විජ්ජුලතාවන් ලෙසත්, නිල්වනුවන් මේඝ කුමරියන් ලෙසත් ය. සන්ධ්‍යාභාගයේ දී අප්සරාවන් ඉදිරිපත් කරන රැඟුමන් සීගිරි චිත්‍රවලින් ඉදිරිපත් කෙරේ. ඇතැම් කාන්තාවෝ මල් පුබුදුවති. තවත් සමහරෙක් ඒ මල්, වට්ටිවලට එකතු කරති. පුබුදුවන මල් බිමට දමන කාන්තාවෝ ද වෙති. තවත් කාන්තාවන් මල් දෙස බලා සිටිති. මෙම රැඟුමට සංගීත භාණ්ඩ ද එකතු කර ගෙන තිබේ. ඒ බව කුරුටු ගීවල සඳහන් ය. මල්වල ඇති මෘදුමොළොක් බව, සුන්දරත්වය හා සුවඳ සමඟ කාන්තාවගේ ඇති සම්බන්ධතාවයත්, සංගීත රටාවට අනුව සිය අත්වලින් මල් පිළිබඳ ව කටයුත්තක් කරමින් රැගුමක් ඉදිරිපත් කරන බවක් මෙම සීගිරි චිත්‍රවලින් පැහැදිළිවේ.
(මූලාශ්‍ර ඔස්සේ සැකසුවකි)                                       
                       
                                                                                                  - චතූ -

Thursday, July 12, 2018

"Punchi puthu Adithya"

පුංචි පුතු ආදිත්‍ය 





පුංචි නෙතු පියවිලා.........
දුක දෑසෙ රැඳවිලා.........
කොහේ සැඟවුණි ද ඔබ.........
දෙමාපිය හඬවලා.........
රන් පුතුනි ආදිත්‍ය.........
මතු සසරෙ කිසිදාක.........
එපා සිදුවනු මෙලෙස.........
පතමි අප සැමදාම.........
ඔබට නිර්වාණ සුව.........
              
                             - චතූ -

Wednesday, July 11, 2018

"Mage sanda"

මගේ සඳ 





නිහඬ තනිකම
මා දවාලන
සුපෙම් ඔය බස්
නැහැ නිවාලන........
නුඹේ සෙනෙහෙන්
නෙත් ලැබූ මම
නැවත අඳ විය
සිටිය විලසින........
සිතේ සිතුවිලි
ගත ම වෙහෙසන
දෙනෙත් කඳුළින්
පිරී ඉතිරෙන........
මගේ සිහිනය
කෙමෙන් බොඳවන
සිතට දොම්නස්
ගෙනෙයි අපමණ........

                     
                                 - චතූ -

Tuesday, July 10, 2018

"kelani mawta"

කැළණි මව්ට 





සමුගන්නට හැරයන්නට
දැන් කාලෙ ළඟයි........
ඔබෙ තුරුළෙන් මිදී යන්න
බැහැ වගේ දැනෙයි........
සිව් වසරක පෙම් පුරාණෙ
කෙමෙන් වියැකි යයි........
අමතක කරලනු බැහැ මට
දෙවෙනි මව් ඔබයි........
                       

                                 - චතූ -

Monday, July 9, 2018

"Tharunainge Unmaadaya"

තරුණයින්ගේ උන්මාදය 





මේ වන විට තරුණ සමාජය තුළ දක්නට ලැබෙන ඉතා සුලබ කරුණක් වන්නේ තරුණයින් අතර පවතින කාය වර්ධන උන්මාදයයි. නුතනයේ කාය වර්ධනය සඳහා පවතින මධ්‍යස්ථාන ද සිල්ලර කඩ මෙන් ඉතා බහුලය. මෙය නව යොවුන්වියේ පසුවන පාසල් පිරිමි ළමුන් අතර ද බහුල ව දැකගත හැකිය. එය එසේ වුවාට කම් නැත. නමුත් ගැටලුව වන්නේ භාහිර ස්වරූපය පිළිබඳ එසේ සැළකිළිමත් වුව ද තම ඉගෙනීම් ක්‍රියාවලිය තුළ නිසියාකාර ව නිරත නොවීමයි. භාහිර පෙනුමට වඩා එකී තරුණයින් සිතිය යුත්තේ තම බුද්ධි වර්ධනය පිළිබඳ ව ය. විශේෂයෙන් ම නූතනයේ දක්නට ලැබෙන මහත් ඛේදවාචකයක් වූ ගැටලුවක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පුරුෂ පාර්ශවයේ පවත්නා හිඟකම ය. විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හදාරනු ලබන විද්‍යාර්ථීන් අතරින් සියයට හැත්තෑපහකටත් වැඩි ප්‍රමාණයක් සිටින්නේ ස්ත්‍රී පාර්ශවයයි. මෙය ඉතා සෘජු ලෙස රැකියා වෙළඳපළට ද මේ වන විට බලපෑම්කොට තිබේ. එය වූකලී සමස්ත රටෙහි ම සංවර්ධනයට බලපෑම් කරන්නා වූ කාරණයකි.


නව යොවුන්වියේ පසුවන පාසල් පිරිමි දරුවන් වැඩි වශයෙන් මෙවැනි ක්‍රියා පිළිවෙත්වලට හුරුවීම ඉතා අහිතකරය. ඒ වෙනුවට ඔවුන්ගේ මනස අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත යොමුකරලීමට කටයුතු කළ යුතුය. එනම්, ඔවුනට නිසියාකාරයේ මගපෙන්වීමක් නිරන්තරයෙන් තිබිය යුතුය. එසේ නොමැති ව ඉහත ආකාරයේ ක්‍රියාවන්වලට යොමුවීම තුළින් නොදැනුවත් ව ම සිදුවන්නේ ඔවුන් අධ්‍යාපනය තුළින් කෙමෙන් කෙමෙන් ගිලිහී යෑමයි. මේ තත්වය අවම කර ගැනීම සඳහා ඔවුනට අධ්‍යාපනයේ පවත්නා අත්‍යාවශ්‍යතාවය දැනවිය යුතුය. නැතහොත් මෙහි ඊළඟ පියවර වන්නේ කාලය ගතවීමත් සමඟ ඔවුන් විවිධාකාරයේ මත් පෙති, මත් ද්‍රව්‍ය ආදියට ද පෙළඹීමයි. නිසි අධ්‍යාපනයක් නොලද බොහෝ තරුණයින් තම ඉටු කර ගත නොහැකි අනාගත අපේක්ෂාවන් හමුවේ අතරමං වන අතර ඒ සඳහා පිළිතුරු සොයනුයේ ද ඉතා අහිතකර අන්දමිනි. අප එසේ සිදුවන්නට ඉඩ තැබිය යුතු ද? එසේ නම් සියල්ලන්ගේ ම වගකීම වන්නේ දිනෙන් දින විවිධාකාරයේ විලාසිතාවන්ට ගොදුරු වන තාරුණ්‍යය නිසි මඟකට යොමු කරලීමය. ඒ සඳහා පාසැල තුළින් මෙන් ම ජන මාධ්‍ය ඔස්සේ ද ඉටු කළ හැකි කාර්යයන් බොහෝය. එනම්, රැකියා වෙළඳපළ තුළ වියැකී යන පුරුෂ නියොජනය ඉතා සීඝ්‍ර අන්දමින් වර්ධනය කිරීමේ හැකියාවක් එමඟින් සැළසෙනවා ඇත. නමුත්, අවාසනාවකට මෙන් ජනමාධ්‍ය තුළ එවන් කාර්යයන් දියත් කිරීමේ වැඩපිළිවෙලක් දැකිය නොහැක. එකිනෙකාට අවැසි වී ඇත්තේ අගාදයට යන තාරුණ්‍යය නිසි මගකට යොමු කිරීමට නොව තම තමන්ගේ නිශ්පාදනයන් අලෙවි කර ගැනීමය. එහි දී තම ලාභය මිස අන්යහපත පිළිබඳ සිතා බලන්නේ නැත. 


දිනෙන් දින නව්‍යකරණය වන සමාජය හමුවේ එකිනෙකාට වටිනාකම් පිරිනමන ස්වරූපය ද වෙනස් වී ගොසිනි. එබැවින් එකී ක්‍රමෝපායන් හිතකර වන්නේ ද නැත්ද යන්න කිසිදු විමසීමකින් තොර ව ඒවා වැළඳ ගැනීමට සමාජය ද පුරුදු පහුණු වී සිටිති. මෙය සමාජයේ පවත්නා ඉතා බරපතල වූ පුරුදු සමුදායකි. තාරුණ්‍යයට විලාසිතා අවැසිය. මා එය ප්‍රතික්ෂේප කරන්නේ ද නැත. නමුත් ඒ සියල්ලක් ම තෝරාබේරා ගත යුතු වන්නේ හිතකර අහිතකර බව වටහා ගෙන ඒවායෙහි පවත්නා ගුණාත්මක තත්වයන් පිරික්සීමෙන් අනතුරුව ය. එහි දී ඒ සියල්ල ම අධ්‍යාපනයට යට ය. එබැවින් තාරුණ්‍යයෙහි රැඳෙන තරුණයින්ට, විශේෂයෙන් යොවුන්වියේ පසුවන පාසැල් තරුණයින්ට ඒ බැව් හොඳින් වටහාදිය යුතුය.
                                                                                                         
                                                                                                                   - චතූ -

Saturday, July 7, 2018

"Vivahaya"

විවාහය 





ලොවට පෙනෙන්නට
දසත ණය වී
ජීවිතයෙන් අඩක් ම ඒ ණය ගෙවන
කැදැල්ල ම ගිනි බත් කරන
අපූරු උත්සවය
                  

                              - චතූ -

"Sigiriyehi Thorathuru"

සීගිරියෙහි තොරතුරු 





පෞඩ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයෙහි තවත් අභිමානී නිර්මාණයක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද, වාස්තු විද්‍යා සහ ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අට වන පුදුමය ලෙස ද පත්වන තරම් මහා කලාගාරයකි. අපගේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩනැගෙන්නේ සීගිරියේ නිර්මාතෘවරයා වූත්, දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටාය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විටය. සීගිරිය මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කඳු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරළයේ ශේෂ කඳු පන්තියක් ලෙස පිහිටා ඇත. මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටී. දිගින් කි.මී 3ක් ද, පළලින් කි.මී 1ක් ද, පමණ වන සීගිරිය මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගඩොල් මිශ්‍ර අති ශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි.ව. 5 වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අගල්, ආරක්ෂක කුටි, ස්වාභාවික ගල් ආරුක්කු ආදියෙනුත්, මල් උයන්වලින් හා හිරිගලින් සියුම් ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නම ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්‍රමයෙන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධයෙක් බව මොනවට පිළිඹිබු කරමිනි.
ප්‍රධාන අවධි


■ කාශ්‍යප යුගය (ක්‍රි.පූ. 3 - 5 දක්වා)
■ කාශ්‍යප යුගය (ක්‍රි.ප.ූ 475 - 497 දක්වා)
■ පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව. 6 - 13 දක්වා)
■ අප්‍රකට යුගය (ක්‍රි.ව. 13 - 17 දක්වා)
■ මහනුවර යුගය (ක්‍රි.ව. 17 - 19 දක්වා)
■ නූතන යුගය (ක්‍රි.ව. 19 සිට අද දක්වා)


මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් අයුරින් සිටින සිංහරාජයෙකුගේ විලාසයෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය නාමය පටබැඳී ඇත. සිංහරාජයා තුළින් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟීමක් දැනවුවත්, සිංහ රූපය දැකීමෙන් එහි ගිය පැරැන්ණන් තරම් ම නූතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වූ බව 1898 දී ඒ.එච්.සී.පී. බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂ ව ඇත්තේ සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනෙකු තුළ ප්‍රතාපය හා බලය පිළිබඳ අපූරු හැඟීමක් දැනවීමට එය ප්‍රමාණවත් බව කැටපත් පවුරෙහි ලියැවුණු ගී වලින් පැහැදිලි වේ. 


සීගිරියෙහි දක්නට ලැබෙන විශේෂත්වයන්...... 

 පර්වත මස්තකයෙහි තිබෙන රජ මාළිගාව
■ ගඩොලින් තැනූ සිංහයාගේ රූපය
■ පර්වත ශිඛරයෙහි ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
■ සීගිරි කැටපත් පවුර 



පුරාවිද්‍යාත්මක නටඹුන් හා විශේෂ ලක්ෂණ 


සීගිරිය දිගුකල් ඛාදනයට ලක්වූ ගිනිකන්දකින් පිට වී සිසිල් වුණු ආග්නේය පාෂාණයන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. පර්වතය මීටර 370ක් උස වන අතර සෑම පැත්තකින් ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙස නෙරා ඇත. ක්‍රි.ව. 5 වන සියවසේ දී කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිඟයෙහි නටඹුන් මෙම පර්වතයෙහි මතුපිට පිහිටා තිබේ. මධ්‍යයෙහි ඇති සමතලා බිමෙහි සිංහ ද්වාරයක් මෙන් ම කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පර්වතයෙහි පහළ බෑවුමට වන්නට පහළ මාළිඟාව නිර්මාණය කර ඇත්තේ දිය අඟල් තාප්පය හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර සිය ගණනක් ඈතට වන්නටය. මෙම භූමිය මාළිඟාවකින් මෙන් ම බලකොටුවකින් ද යුක්තය. දැනට ඉතිරි ව තිබෙන නටඹුන්වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ට හැකියාව හා නිර්මාණශීලීත්වය පිළිබඳ අගනා හැඟීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි. සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැළසුම්කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස දැක්විය හැකිය. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යානය රාජකීයයන් උදෙසා සුදුසු ලෙස සකස් කර ඇත. උද්‍යානයෙහි ජලය රඳවා ගන්නා ව්‍යුහය ද නිර්මාණය කර ඇත. ඒවා සකස්කිරීමේ දී පොළව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අද ද ක්‍රියාත්මක මට්ටමෙහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිමකළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහි ද බොහෝසෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථානවල දොරටු 5කි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති අතර බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක.


සීගිරිය වූකලී සංස්කෘතික කෞතුකාගාරයකි


■ ක්‍රි.ව. 5 වන සියවසේ පැවති නාගරික සැළසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
■ ඉංජිනේරු විද්‍යාව
■ ජල තාක්ෂණය
■ ගෘහ නිර්මාණ ශිල්පය
■ කලා ශිල්ප හා සාහිත්‍යය 



එසේ ම මෙම වාස්තු විද්‍යාත්මක කලාව සඳහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසංගත සැළසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතයක් මත මාළිඟා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ගඩොල් රැගෙන ආ සැටි පුදුමසහගතය. මලුපෙත්, ගර්භාගාර අතරින් ගඩොලමය පැතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වූ ශෛලමය සිංහාසනය විස්මයෙන් සිත අලලන සුළු ය. සීගිරිය නම් වූ මහා වාස්තු විද්‍යාත්මක සැළසුම්කරණ වික්‍රමයේ හදවතත්, කේන්ද්‍රස්ථානයත් වූයේ මේ මාළිඟාවයි. ගල මුදුනේ අක්කර තුනහමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාළිඟය රාජ්‍ය බලයත්, මිනිස් ශ්‍රමයත් කැටිකොට පිළිඹිබු කරන කදිම ස්මාරකයකි. තව ද මාළිඟයේ අගය තීව්‍ර කරමින් ඉදිරියට දිවෙන ශිලා උද්‍යාන, දිය අඟල්, හා බුබුළු නගමින් පතිත වන දියමල් කැලකින් සැදුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියාපාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞශල්‍යයත්, විසිතුරු චින්තනයත් ය. 


සීගිරි ගී


ක්‍රි.ව. 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත්පූජිත කලා නිකේතනයක් බවට පත් විය. ශ්‍රී ලංකා ඉතිහාසයෙහි සීගිරිය සුවිශේෂී ස්ථානයක් ගන්නා අතර සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂී ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමිවේ. මෙම ගීතවලින් බොහොමයක් 8, 9 හා 10 වන සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය. පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපූර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිඹිබු වේ. මේ තුළින් එකළ කවියන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළිවේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. ව්‍යංගාර්ථයෙන් හා වක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සීගිරි ගී හැඳින්වේ. 


සීගිරි බිතුසිතුවම්






සීගිරි බිතුසිතුවම්වල දක්නට ඇති විශේෂත්වය නම් මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ රූප පමණක් වීමත්, ඒවා ඉඟටියෙන් ඉහළ නග්න රූප පමණක් වීමත්ය. මෙම චිත්‍ර ඇඳීමේ දී දේශීය අමුද්‍රව්‍ය භාවිතකොට ඇති අතර වර්ණ සකසා ගැනීමේ දී වියළි කලාපයේ බහුල ව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිත කර තිබේ. එනම්, ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදිය වේ. ලලනාරූප පින්තාරු කිරීමේ දී අනුව ශිල්පියා වර්ණ මඟින් අඳුරු ආලෝකය ගෙන රූපවල ත්‍රිමාණත්වය මතුකිරීමට ශිල්පියාගේ තෙළිතුඩ සමත් වී ඇත. එසේ ම ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූල ව තෙළිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙස ය. සාහිත්‍යයේ කල්පිතයන්ට එකඟ ව දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි, සිහිනිඟ, පුළුලුකුල, පුන්පියයුරු, දෙතොල් සහ දෙකොන සිහින් ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර කර තිබේ. 


ලක්දිව ලෞකික චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී සීගිරි චිත්‍ර ප්‍රධාන වේ. දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි. ක්‍රි.ව. 8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502කගේ චිත්‍ර පිළිබඳ ව සඳහන් වේ. ප්‍රධාන වශයෙන් සීගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර ඊට අමතර ව දැරණියගල ගුහාව, වතුර බක්කිගල ගුහාව, නයිපෙන ගුහාව (ප්‍රමක ලෙන) යන ස්ථානවලින් ද සිතුවම් හමුවී තිබේ. මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප සීගිරි ශිල්පීන් ඔවුන්ගේ චිත්‍ර සඳහා වස්තු විෂය කර ගෙන ඇති අතර එකී නාරි රූප වළාකුළුවලින් නික්මෙන්නා සේ ඇඳ තිබේ. කාන්තා රූප වළාකුලුවලින් මතුවන්නියන් ලෙස උකුලෙන් යටි කොටස වළාකුළුවලට වැසී ඇත. මෙම වළාකුළු රන් පැහැතිය. හිරු බැස යන අවස්ථාවේ රතු පාට වළාකුළුවලින් මතුවන මෙම කාන්තාවන්ගේ පසුබිමේ කිසිවක් නොමැති ව හිස් අහසක් පමණක් තිබීම විශේෂත්වයකි. මේ චිත්‍ර සහ සන්ධ්‍යාවේ සම්බන්ධය ගැන එක් කුරුටු ගීයක ද සඳහන් වේ. හිරු බසින විට හැකිලෙන නෙළුම් මල් හා මහනෙල් මල් එය සන්ධ්‍යාවක් බව සනාථ කරයි. සීගිරි කතුන් අතර නිල්වනුවන් මෙන් ම රන්වනුවන් ද සිටිති. පරණවිතාන මහතා සඳහන් කරන්නේ රන්වනුවන් විජ්ජුලතාවන් ලෙසත්, නිල්වනුවන් මේඝ කුමරියන් ලෙසත් ය. සන්ධ්‍යාභාගයේ දී අප්සරාවන් ඉදිරිපත් කරන රැඟුමන් සීගිරි චිත්‍රවලින් ඉදිරිපත් කෙරේ. ඇතැම් කාන්තාවෝ මල් පුබුදුවති. තවත් සමහරෙක් ඒ මල්, වට්ටිවලට එකතු කරති. පුබුදුවන මල් බිමට දමන කාන්තාවෝ ද වෙති. තවත් කාන්තාවන් මල් දෙස බලා සිටිති. මෙම රැඟුමට සංගීත භාණ්ඩ ද එකතු කර ගෙන තිබේ. ඒ බව කුරුටු ගීවල සඳහන් ය. මල්වල ඇති මෘදුමොළොක් බව, සුන්දරත්වය හා සුවඳ සමඟ කාන්තාවගේ ඇති සම්බන්ධතාවයත්, සංගීත රටාවට අනුව සිය අත්වලින් මල් පිළිබඳ ව කටයුත්තක් කරමින් රැගුමක් ඉදිරිපත් කරන බවක් මෙම සීගිරි චිත්‍රවලින් පැහැදිළිවේ.
 

භාවිත කර ඇති ශිල්පීය මූලධර්ම 


චිත්‍ර ශිල්ප මූලධර්ම 6ක් පැරණි යුගයේ භාවිත වී ඇත. එනම්, ප්‍රමාණ, භාව, රූප, භේද, ලාවන්‍යායෝජන, වර්ණකාංග සහ සදෘශ්‍යකරණය යනුවෙනි. මෙම මූලධර්මයන්ට අනුකූල ව සීගිරි චිත්‍ර නිර්මාණය කර ඇත. එසේ ම සිරුර නැමෙන විට උදරයේ ඇති වන රැලි ඉතා පැහැදිලි ව මෙහි දී දක්නට ලැබේ. එම ස්වභාවය මෙම චිත්‍රවල තාත්විකත්වය ආරක්ෂා කිරීමට ඉවහල් වී තිබේ. 

 ඉරියව් : දැනට ශේෂ ව ඇති කාන්තා රූප සියල්ලෙහි ම හිටි ඉරියව් දැක්වේ.
■ ප්‍රමාණ : සීගිරි සිතුම්වල උඩුකය පමණක් දර්ශනය වන නිසා ඇඳ ඇති ප්‍රමාණ කිව නොහැකි වුව ද අෂ්ටතාල ක්‍රමය අනුගමනය කර තිබේ.
■ භාව : චිත්‍රයකින් හෝ මූර්තියකින් භාව ප්‍රකාශ වනවා නම් එය සජීවී ව පෙනේ. සීගිරි චිත්‍ර භාවයන්ගෙන් අනූනය. මේ නිසා සීගිරි කුරුටු ගී ලියූවෝ අප්සරාවන්ගේ භාවයන්ගෙන් කුල්මත් වී තම සිතැඟියාවන් ලියූහ. එසේ ම භාව ප්‍රකාශන අතින් ප්‍රධානස්ථානය මුහුණට හිමිවේ.

■ ලාවන්‍යයෝජන : ලාවන්‍යයෝජන යනු, චිත්‍රයකට සුන්දරත්වය එක් කිරීමයි. ශාරීරික සුන්දරත්වය ඔපවත් වනුයේ උචිත ලෙස වර්ණ යොදා දැක්වීමෙනි. ආලෝකය අවශ්‍ය ස්ථානයට ආලෝකය ද, අඳුර අවශ්‍ය ස්ථානයට අඳුර ද තිබිය යුතුය. සීගිරි චිත්‍රවල ලාවන්‍යයෝජනය මැනවින් දැකිය හැකිය. එය කාන්තාවන්ගේ සුන්දරත්වය කැපී පෙනීමට හේතු වී ඇත.

 වර්ණකාංග : එනම්, චිත්‍ර ඇඳීමේ දී සායම් මිශ්‍ර තෙළිතුඩ හැසිරවීමේ ක්‍රමයයි. සීගිරි චිත්‍ර ඇඳීමේ දී ගුරුපාට සායමකින් සැකිල්ල ඇඳ ඊට පසු ඒ ඒ තැනට උචිත සායම්වලින් සම්පූර්ණ කර තිබේ. එමෙන්ම නාරි දේහයේ ලාලිත්‍යයට අනුකූල ව තෙළිතුඩ ගමන් කරමින් මෙම චිත්‍ර ඇඳ තිබේ. සීගිරි චිත්‍ර වියළි බදාමයක් මත නිර්මාණය කිරීම නිසා “ටෙම්පරා” ගණයට අයත් වේ. 

ඉතා මෑතක දී පුද්ගලයෙකුගේ තීන්ත පහරකින් සීගිරි සිතුවම් විනාශ වූ පසු එම චිත්‍ර නැවත ප්‍රකෘති තත්වයට පත්කරන ලද්දේ ඉතාලි ජාතික ආචාර්ය ලුසියානෝ මරන්සි මහතා විසිනි. 
(මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ සැකසුවකි)

                                                                                                               - චතූ -

Friday, July 6, 2018

"Raathriya manaram"

රාත්‍රිය මනරම්






නුඹ සඳක් වනවා නම්
නිදන් නැතුව ම ඉන්නම්
මගෙ පැලට නුඹ ඒ නම්
නුඹෙ තනිය දුරලන්නම්



මගෙ සිහිනෙ වූ පබවතී
හැඟුම් පුබුදන සඳවතී
සිත නිවාලන රසවතී
නුඹයි සඳ මගෙ පෙම්වතී 



අඳුරු වළාවන් රැයේ ඇදෙන විට
පිණිකැට පිනි බිඳු ගත දැවටෙන විට
නුඹේ සුවඳ මට සිහිපත් වන විට
මුළු ලොව සුරපුරයක් වෙයි මා හට


                                                                       - චතූ -

Wednesday, July 4, 2018

"Oba methek nodath dethis maha purusha lakshana"

ඔබ මෙතෙක් නොදත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ








1 මනාව පිහිටි පතුල් ඇති බව
2 දෙපතුල මගුල් ලකුණුවලින් පිරි බව
3 දික් විලුම් ඇති බව
4 දික් ඇඟිලි ඇති බව
5 මෘදු මොලොක් පා ඇති බව
6 අත් පා ඇඟිලි සම ව ඇති බව
7 උද්ගත ව පිහිටි පා ඇති බව
8 මෘගයන්ගේ මෙන් කෙණ්ඩා ඇති බව
9 සිටගෙන නොනැමී දෙදණ පිරිමැදිය හැකි බව
10 කෝෂයෙහි බහාලූ ලිඟුවක් ඇති බව
11 රන්වන් සිනිඳු හම් ඇති බව
12 සිනිඳු සිවි ඇති බව
13 එක් එක් රෝම කූපයේ එක් එක් ලෝම ඇති බව
14 ලොම් දක්ෂිණාවෘත ව අග ඌර්ධ ව ඇති බව
15 බ්‍රහ්මයාගේ වැනි සෘජු සිරුර ඇති බව
16 සප්ත ස්ථානයෙහි මාංශයේ උස් බව
17 පූර්වාර්ධකාය සිංහයකුගේ මෙන් පරිපූර්ණ බව
18 දෙඅංශයන් රන් පුවරු මෙන් මනා ව පිහිටා ඇති බව
19 නීග්‍රෝධ පරිමණ්ඩල කාය
20 සමවෘත ගෙලක් ඇති බව
21 රස නහරයන්ගෙන් රසය උරා ගැනීමේ ක්ෂණික බව
22 සිංහයාගේ වැනි හනු ඇති බව
23 සම සතලිස් දත් ඇති බව
24 උස්පහත් නැති සම දත් ඇති බව
25 දත් අතර සිදුරු නැති බව
26 සුක්ල දත් ඇති බව
27 පළල් දිවක් ඇති බව
28 බ්‍රහ්මයාගේ හඬ වැනි මිහිරි හඬක් ඇති බව
29 තද නිල් ඇස් ඇති බව
30 එකෙනෙහි උපන් වස්සකුගේ මෙන් අක්ෂි ගෝලයක් ඇති බව
31 දෙබැම අතර නළල මැද ඌර්ණ රෝම ධාතුව ඇති බව
32 මටසිලුටු වූ ශීර්ෂ මණ්ඩල ඇති බව
       (ලක්ඛන සූත්‍රය)
                                 
                                                                   - චතූ -
 

Tuesday, July 3, 2018

"Mudal"


මුදල්





ඇතිකොට සෙනඟ ඇත
නැතිකොට කිසිවෙක් ද නැත
කළ හැකි දෙයක් නැත
කළ නොහැකි දෙයක් ද නැත
ඇති දා සතුට ඇත
නැති දා දුක ම ඇත

                              
                            
                               -චතූ-

Monday, July 2, 2018

"Puwath warthaakaranaya saha paudgalikathwaya"

පුවත් වාර්ථාකරණය සහ පෞද්ගලිකත්වය 




නූතන සමාජය තාක්ෂණික අංශයෙන් බෙහෙවින් දියුණු වී ඇත. ඒ ඔස්සේ නූතන ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ද සුවිශාල වර්ධනයක් සිදුවතිබේ. මෙහි ගුණාත්මක දේ බොහෝ තිබුණ ද ඒ තරමට ම එහි සෘණාත්මක පැතිකඩ ද විශාල වශයෙන් දක්නට ඇත. තාක්ෂණික ක්‍රියාදාමයත් සමඟ ඇති වූ මෙම පරිවර්ථනය තුළ එකී කරුණුවලට නිදසුන් බෙහෙවින් දැකගත හැකිය.


ඒ සඳහා නිදසුන් ලෙස විශේෂයෙන් ම නව මාධ්‍ය දියුණුවත් සමඟින් ඇති වූ ඉතා වේගවත් ප්‍රවෘත්ති වාර්තාකිරීම් තුළ ඇත්තේ  ගුණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයට එහා ගිය තරඟකාරීත්වයකි. නූතන ජනමාධ්‍ය තුළ සංඛ්‍යාත්මක වශයෙන් මාධ්‍ය රැසක් බිහි ව තිබීම නිසා ඕනෑම ප්‍රවෘත්තියක් අනෙකාට ප්‍රථම තමා පලකළ යුතුය යන හැඟීම පෙරදැරිකොට ගෙන පමණක් වාර්තාකරණයෙහි යෙදෙති. වත්මනේ පළවන පුවත් පිළිබඳ නිරීක්ෂණය කළ විට එක ම පුවත මාධ්‍ය කිහිපයක වාර්තා කරනුයේ කිහිපාකාරයෙනි. එහි දී එය අසන, බලන ශ්‍රාවකයා හෝ පාඨකයාට ඇති වන ගැටලුව වන්නේ මෙම වාර්තා කරන ඇසුරෙන් නිවැරදි පුවත කුමක්ද යන පැනයයි. එබැවින් නිරන්තරයෙන් ම සෑම මාධ්‍යක් ම මේ පිළිබඳ ඉතා සැළකිලිමත් විය යුතුය. 


අනෙක් කරුණ නම් යම් අපරාධයක්, අනතුරක් සිදු වූ අවස්ථාවල දී ඒ පිළිබඳ එක් එක් මාධ්‍යයන් වාර්තා කරන ආකාරය පිළිබඳ ව ද බෙහෙවින් සැළකිලිමත් විය යුතුය. විශේෂයෙන් ම යම් අපරාධයක් සිදුවූ අවස්ථාවන්වල දී එම අපරාධයට බඳුන් වූ පුද්ගලයාගේ ඡායාරූප සම්පූර්ණයෙන් ම නිරාවරණය කරමින් ඔහු හෝ ඇයගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ ව කිසිදු සීමාවකින් තොර ව සමාජයට හෙළිකිරීම මෙකළ සුලබ වශයෙන් දක්නට ලැබෙන කරුණකි. එසේ ම අපරාධයන් සිදුවූ අවස්ථාවල දී විශේෂයෙන් ම දෘශ්‍ය මාධ්‍යයන් විසින් එම අපරාධ වාර්ථාකරණයේ දී නැරඹීමට අපහසු රූප රාමු ද පෙන්වීම සිදුකරයි. විශේෂයෙන් රුධිරය සහිත ඡායාරූප ආදිය ද බෙහෙවින් නිරාවරණයකොට පෙන්වීම දැකිය හැක. එය ඉතා සාවද්‍ය ක්‍රියාවක් වන්නේය. එය අපරාධයට බඳුන් වූ පුද්ගලයාට සහ එම නිවැසියන්ට කෙතෙක් දුරට බලපානු ලබනවා ද යන්න මාධ්‍ය සැළකිලිමත් වන්නේ නැත. මාධ්‍යයට සැමවිට ම අවශ්‍ය වී ඇත්තේ පවත්නා තරඟකාරීත්වය හමුවේ අනෙක් මාධ්‍යයන් අභිබවා තම මාධ්‍යයට පුමුඛතාවය ලබා ගැනීමේ අරමුණ පමණකි. එහි දී පුද්ගලයාගේ පෞද්ගලිකත්වය යන සාධකයට කිසිවිටෙකත් ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ නැත. එබැවින් සියලු ම මාධ්‍ය ඒ පිළිබඳ ව බෙහෙවින් සැළකිලිමත් වී කටයුතු කරන්නේ නම් එවැනි අපරාධයන්ට මුහුණ පෑ පුද්ගලයන්ට හා එකී නිවැසියන්ට මාධ්‍ය ඔස්සේ තවත් අපරාධයක් සිදුවන්නේ නැත.

                                                                                                                   - චතූ -

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...