“බනිස්” යනු බේකරි කර්මාන්තය තුළ ඉතා ජනප්රිය ආහාරයකි. බනිස් කී විට නොයෙක් හැඩයේ, නොයෙක් ජාතියේ, නොයෙක් ප්රමාණයේ බනිස් වර්ග රැසක් දක්නට ඇත. ඒ අතරින් ඉතා ජනප්රිය බනිස් වර්ග ලෙස, බටර් බනිස්, ටී බනිස්, ඩබල් බනිස්, සීනි බනිස්, ගල් බනිස්, මාළු බනිස්, කිඹුලා බනිස් වැනි බනිස් වර්ග රැසක් තිබේ. ඒ අතරින් ඉහත ඡායාරූපයේ දක්වා තිබෙන්නේ නවතම බනිස් වර්ගය වන හූනු බනිස් ය.
ඔබ අප විසින් වෙළඳපළ තුළින් මිළ දී ගන්නා සෑම ආහාරයක් පිළිබඳ ව ම ඉතාමත් සැළකිළිමත් විය යුතු බව පසක් කර ගැනීමට මෙය තවත් එක් කදිම නිදසුනකි. විශේෂයෙන් ම ඇසුරුම් කරන ලද ආහාර මිළ දී ගන්නා විට එහි නිශ්පාදිත දිනය සහ කල්ඉකුත්වීමේ දිනය මෙන් ම අදාළ නිශ්පාදනය හොඳින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිළ දී ගත යුතුය. ඉහතින් ඇති ඡායාරූපයෙන් දිස්වන්නේ එක්තරා සුපිරි වෙළඳසැලකින් මිළ දී ගනු ලැබූ බනිස් ගෙඩියකි. එය ඉතා හොඳින් ආවරණය කර තිබුණ ද එම ඇසුරුම ඇතුළතින් බනිස් ගෙඩිය මතුපිට සිටින්නේ හූනෙකි. මෙවැනි දේ මිළට ගෙන නිවසට ගෙන ආ පසු තම දරුවන් නොදැනුවත්කමින් එය ආහාරයට ගතහැකිය. එසේත් නැතිනම් කේක් ගෙඩි මත ඇති අයිසින් වලින් සැරසූ අලංකරණ සේ බනිස් ගෙඩිය මත ද එවන් සැරසිල්ලක් සිදුකර ඇතැයි කුඩා දරුවන් සිතන්නට ද බැරි නැත. එවන් දෙයක් සිදුවුවහොත් දෙමාපියන් හෝ වැඩිහිටියන් වශයෙන් ඔබට කිනම් තත්වයකට මුහුණ පෑමට සිදුවේද? එය මදක් සිතා බැලිය යුතු කරුණකි.
පාරිභෝගිකයා සැමවිට ම තම මිළ දී ගැනීම් කෙරෙහි ප්රවේශම් විය යුතු වන්නා සේ ම නිශ්පාදකයා සතු ව ද පවතිනුයේ විශාල වගකීමකි. ඔවුන් තම නිශ්පාදනය ආරම්භයේ පටන් වෙළඳපලට යොමු කිරීම දක්වා එහි ගුණාත්මක බව රඳවා ගැනීමට නිරන්තරයෙන් වගබලා ගත යුතුය. එසේ ම පාරිභෝගික නීතියට අනුව එම වගකීම පැහැරහරින සෑම නිශ්පාදකයෙකු ම සිදුකරනුයේ දඬුවම් ලැබිය හැකි වරදකි. මේ සඳහා මේ වන විට ලාංකීය නීතියට අනුව පනත් රැසක් නිර්මාණය වී ඇති අතර ඉන් කිහිපයක් පහත අයුරින් දැක්විය හැක. එනම්,
■ 1896 භාණ්ඩ විකිණිමේ ආඥා පනත
■ 1950 මිල පාලන පනත
■ 1979 අංක 01 දරණ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත
■ 1980අංක 27 දරණ විලවුන් උපකරණ හා ඖෂධ පනත
■ 1984 අංක 06 දරණ ශ්රී ලංකා ප්රමිති ආයතන පනත
■ 1995 අංක 35 දරණ මිනුම් ඒකක ප්රමිති හා සේවා පනත
■ 1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරීමේ පනත
■ 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යනුවෙනි.
ඉහත සඳහන් පනත් පිළිබඳ දැනුවත් වී සිටීම පාරිභෝගිකයින් වන ඔබ අප සියලු දෙනාට ම වැදගත් වේ. නිශ්පාදකයින් විසින් තම නිශ්පාදනයන් නිවැරදි ප්රමිතියෙන් හා ගුණාත්මක බවින් යුක්ත ව වෙළඳපලට නිකුත් කිරීමට සැමවිට ම වගබලා ගත යුත්තේ නීතීන් කඩකළ විට ලැබෙන දඬුවමට ඇති බිය නිසා නොව එය ඔබ අප සියල්ලන්ගේ ම වගකීමක් වන බැවිනි.
- චතූ -
- චතූ -