Wednesday, June 13, 2018

"Ahimiveema"

                                      
                                           අහිමිවීම






ඔන්න එකමත් එක රටක හිටියා ලස්සන ගෑනු ළමයෙක්. එයාගෙ නම නෙළුම්. එයා ගොඩක් ලස්සනයි. ඉගෙන ගන්නත් හොඳට පුළුවන්. ඒත් ලස්සනයි, දක්ෂතාවයයි තිබුණට එයා ගොඩාක් දුප්පත්. අම්මයි තාත්තයි ගොවිතැන් කරලා ගොඩක් අමාරුවෙන් තමයි නෙළුම්වයි, නෙළුම්ගේ පුංචි නංගිවයි ජීවත් කරන්නේ. නෙළුම් සාමාන්‍ය පෙළ ඉහළින් ම සමත් වෙලා නගරෙ ඉස්කෝලයකට ගිහින් හොඳට ඉගෙනගෙන උසස් පෙළත් ඉහළින් ම සමත් වෙලා සරසවි වරම් ලබනවා. දුවට උගන්නන්න අවශ්‍ය නිසා අම්මයි තාත්තයිත් තව තවත් ගොඩක් මහන්සි වෙලා ගොවිතැන් කරනවා. අම්මටයි තාත්තටයි ඕනේ කළේ නෙළුම්ට හොඳට උගන්නන්න විතරයි. එයාලට තමන්ගේ මැටි ගෑ වරිච්චි බිත්ති සිමෙන්ති ගඩොල්වලට හරවන්නවත්, දවසට තුන්වේල ම බඩකට පිරෙන්න කන්නවත් උවමනාවක් තිබුණේ නැහැ. ඒ නෙළුම් නිසයි. නෙළුම්ගේ ඉගෙනීම් කටයුතුවලට සල්ලි අවශ්‍යය නිසයි. 


කාලය ගතවෙලා යද්දී නෙළුම් සරසවි අධ්‍යාපනය නිමා කරලා කොළඹ නගරයේ විශාල වගේ ම ප්‍රසිද්ධ ආයතනයක කළමනාකරුවෙකු ලෙස පත්වෙනවා. නෙළුම්ගෙ රැකියාව ගැන අම්මටයි, තාත්තටයි ලොකු අවබෝධයක් නැතිවුනත් දුව ඉගෙනගෙන කොළඹ ලොකු රස්සාවක් කරනඑක ගැන අම්මටයි, තාත්තටයි තිබුණේ ලොකු සතුටක් වගේ ම ලොකු ආඩම්බරයක්. කාර්යබහුලත්වය නිසා ම කල්ගත වෙද්දී නෙළුම්ට ගමට යන එකත් සීමා කරන්න සිදුවෙනවා. අම්මවයි, තාත්තවයි, නංගිවයි නගරයේ පදිංචියට රැගෙන එන්න නෙළුම් උත්සාහ කළත් හැදුණු වැඩුණු ගම දාලා යන්න අම්මයි තාත්තයි කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් ගමේ ම ජීවත් වෙනවා. ටික කාලයක් ගත වෙද්දී ඔවුනගේ සම්බන්ධතාවය දුරකථන සංවාදවලට පමණක් සීමා වෙනවා.


මෙහෙම කල්ගතවෙද්දී නෙළුම් කිහිප දවසක් ම තම නිවසට ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කළත් ඇයට ඔවුන් ව සම්බන්ධ කරගත නොහැකි වෙනවා. නෙළුම්ට ගමට යෑමට ද බොහෝ කාලයකින් නොහැකි වූ නිසා ඇය ගමට ගොස් බැලීමට තීරණය කරනවා. නමුත් ඇයට ඇති කාර්යබහුලත්වය නිසා ඒ සඳහා වේලාවක් වෙන්කර ගැනීමට අපහසු වෙනවා. මෙහෙම බොහෝ කාලය ගෙවිලා යද්දී දවසක් නෙළුම් කාර්යාලයට යන අතරමග දී දකින දසුනක් නිසා ඇයට තම දෙමව්පියන් සිහිපත් වෙනවා. ඇය ඒ මොහොතේ දෙමව්පියන්ගේ සුවදුක් විමසා බැලීමට එන සති අන්තයේ කෙසේ හෝ යා යුතු බව තරයේ ම සිතාගන්නවා.


සති අන්තය එළැඹීමත් සමඟ ඇය තමා විසින් ඉපැයූ මුදලින් ම මිල දී ගත් අගනා මෝටර් රථයෙන් දෙමව්පියන් හා සොහොයුරිය බැලීම සඳහා ගමට පිටත් ව යනවා. බොහෝ කාලයකින් ගමට පැමිණෙන නිසා ගමෙහි ද වෙනස්කම් රැසක් දැකගැනීමට නෙළුම්ට හැකිවෙනවා. අනතුරුව ඇය තමා කුඩා කාලයේ ජීවත් වූ එම නිවස කරා ළඟාවෙනවා. නමුත් වෙනදා තිබූ තරම් එළියක් නිවසෙහි හෝ ගෙවත්තෙහි නැහැ. තාත්තා පිල උඩ බුලත් විටක් කොටන ගමන් එය නතර කරලා මිදුලට එන වාහනය කුමක්දැයි ඇස් පුංචි කරලා විපරම් කරනවා. නෙළුම් වාහනයෙන් බැහැලා “තාත්තේ” කියද්දී තමයි ඔහු ඇය ව හඳුනා ගන්නේ. එතකොට ම නංගිත් ගේ ඇතුළේ ඉදලා දුවගෙන ඇවිත් “අක්කේ” කියලා මිදුලට දුවගෙන එනවා. නංගි කලින් වතාවෙදි දැක්කාට වඩා බොහෝ හැඩවී වෙනස්වෙලා යැයි ඇයට සිතෙනවා. ඒ එද්දී තාත්තවයි, නංගිවයි දැකගත් සතුටට තමා ඉදිරියට දුවගෙන ආ නංගි ව තදින් තුරුළු කර ගන්නවා.


“මොකද නංගි අම්මා පේන්න නැත්තේ? ළිඳට ගිහින් ද?” කියලා නෙළුම් තම නංගිගෙන් අහනවා. ඒ අතර නංගි මොනවාදෝ මුමුණමින් හඬන්නට පටන් ගන්නවා. තාත්තා දෙස බලන නෙළුම්ට දකින්න ලැබෙන්නේ තාත්තාගේ දෙනෙතෙන් වැටෙන්න ආසන්න ව තියෙන කඳුළු බිංදු. නංගිගේ හඬට හොඳින් ඇහුම්කන් දෙන නෙළුම්ට ඇසෙන්නේ “අම්මා අපි ව දාලා ගිහින් දැන් මාස පහක් වෙනවා අක්කේ” කියලා. ඒ වචන ටික නෙළුම්ට ඇහෙනවාත් සමඟ ම නෙළුම්ගේ මුළු ශරීරය පුරාවට ම ඉතා තදින් විදුලියක් කෙටුවාක් මෙන් දැනෙනවා. ඇය මෙතෙක් කල් සිතා සිටියේ ඇය තම ජීවිතය ජයග්‍රහණය කළා කියලා. නමුත් ඇයට මේ වන විටත් ජීවිතයේ ලොකුම අහිමිවීම සිදුවෙලා හමාරයි. ඇය තම කකුල් දෙක පණ නැති ව මිදුලෙ ඇදවැටෙන්න යද්දී නංගිත්, වාරුනැති තාත්තාත් එක්ව නෙළුම් ව වත්තන් කර ගෙන ඉතා අමාරුවෙන් ගෙතුළට රැගෙන යනවා. ගොඩක් අමාරුවෙන් දේවල් ලබා ගනිද්දී තවත් පැත්තකින් අපට අයිති ගොඩක් වටිනා දේවල් අහිමි ව යන ආකාරය ඇය තේරුම් ගන්නවා.
                                                                              

                                                                                                                 -චතූ-
                                                                                     

2 comments:

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...