මේ වන විට තරුණ සමාජය තුළ දක්නට ලැබෙන ඉතා සුලබ කරුණක් වන්නේ තරුණයින් අතර පවතින කාය වර්ධන උන්මාදයයි. නුතනයේ කාය වර්ධනය සඳහා පවතින මධ්‍යස්ථාන ද සිල්ලර කඩ මෙන් ඉතා බහුලය. මෙය නව යොවුන්වියේ පසුවන පාසල් පිරිමි ළමුන් අතර ද බහුල ව දැකගත හැකිය. එය එසේ වුවාට කම් නැත. නමුත් ගැටලුව වන්නේ භාහිර ස්වරූපය පිළිබඳ එසේ සැළකිළිමත් වුව ද තම ඉගෙනීම් ක්‍රියාවලිය තුළ නිසියාකාර ව නිරත නොවීමයි. භාහිර පෙනුමට වඩා එකී තරුණයින් සිතිය යුත්තේ තම බුද්ධි වර්ධනය පිළිබඳ ව ය. විශේෂයෙන් ම නූතනයේ දක්නට ලැබෙන මහත් ඛේදවාචකයක් වූ ගැටලුවක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පුරුෂ පාර්ශවයේ පවත්නා හිඟකම ය. විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හදාරනු ලබන විද්‍යාර්ථීන් අතරින් සියයට හැත්තෑපහකටත් වැඩි ප්‍රමාණයක් සිටින්නේ ස්ත්‍රී පාර්ශවයයි. මෙය ඉතා සෘජු ලෙස රැකියා වෙළඳපළට ද මේ වන විට බලපෑම්කොට තිබේ. එය වූකලී සමස්ත රටෙහි ම සංවර්ධනයට බලපෑම් කරන්නා වූ කාරණයකි.
නව යොවුන්වියේ පසුවන පාසල් පිරිමි දරුවන් වැඩි වශයෙන් මෙවැනි ක්‍රියා පිළිවෙත්වලට හුරුවීම ඉතා අහිතකරය. ඒ වෙනුවට ඔවුන්ගේ මනස අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත යොමුකරලීමට කටයුතු කළ යුතුය. එනම්, ඔවුනට නිසියාකාරයේ මගපෙන්වීමක් නිරන්තරයෙන් තිබිය යුතුය. එසේ නොමැති ව ඉහත ආකාරයේ ක්‍රියාවන්වලට යොමුවීම තුළින් නොදැනුවත් ව ම සිදුවන්නේ ඔවුන් අධ්‍යාපනය තුළින් කෙමෙන් කෙමෙන් ගිලිහී යෑමයි. මේ තත්වය අවම කර ගැනීම සඳහා ඔවුනට අධ්‍යාපනයේ පවත්නා අත්‍යාවශ්‍යතාවය දැනවිය යුතුය. නැතහොත් මෙහි ඊළඟ පියවර වන්නේ කාලය ගතවීමත් සමඟ ඔවුන් විවිධාකාරයේ මත් පෙති, මත් ද්‍රව්‍ය ආදියට ද පෙළඹීමයි. නිසි අධ්‍යාපනයක් නොලද බොහෝ තරුණයින් තම ඉටු කර ගත නොහැකි අනාගත අපේක්ෂාවන් හමුවේ අතරමං වන අතර ඒ සඳහා පිළිතුරු සොයනුයේ ද ඉතා අහිතකර අන්දමිනි. අප එසේ සිදුවන්නට ඉඩ තැබිය යුතු ද? එසේ නම් සියල්ලන්ගේ ම වගකීම වන්නේ දිනෙන් දින විවිධාකාරයේ විලාසිතාවන්ට ගොදුරු වන තාරුණ්‍යය නිසි මඟකට යොමු කරලීමය. ඒ සඳහා පාසැල තුළින් මෙන් ම ජන මාධ්‍ය ඔස්සේ ද ඉටු කළ හැකි කාර්යයන් බොහෝය. එනම්, රැකියා වෙළඳපළ තුළ වියැකී යන පුරුෂ නියොජනය ඉතා සීඝ්‍ර අන්දමින් වර්ධනය කිරීමේ හැකියාවක් එමඟින් සැළසෙනවා ඇත. නමුත්, අවාසනාවකට මෙන් ජනමාධ්‍ය තුළ එවන් කාර්යයන් දියත් කිරීමේ වැඩපිළිවෙලක් දැකිය නොහැක. එකිනෙකාට අවැසි වී ඇත්තේ අගාදයට යන තාරුණ්‍යය නිසි මගකට යොමු කිරීමට නොව තම තමන්ගේ නිශ්පාදනයන් අලෙවි කර ගැනීමය. එහි දී තම ලාභය මිස අන්යහපත පිළිබඳ සිතා බලන්නේ නැත.
දිනෙන් දින නව්‍යකරණය වන සමාජය හමුවේ එකිනෙකාට වටිනාකම් පිරිනමන ස්වරූපය ද වෙනස් වී ගොසිනි. එබැවින් එකී ක්‍රමෝපායන් හිතකර වන්නේ ද නැත්ද යන්න කිසිදු විමසීමකින් තොර ව ඒවා වැළඳ ගැනීමට සමාජය ද පුරුදු පහුණු වී සිටිති. මෙය සමාජයේ පවත්නා ඉතා බරපතල වූ පුරුදු සමුදායකි. තාරුණ්‍යයට විලාසිතා අවැසිය. මා එය ප්‍රතික්ෂේප කරන්නේ ද නැත. නමුත් ඒ සියල්ලක් ම තෝරාබේරා ගත යුතු වන්නේ හිතකර අහිතකර බව වටහා ගෙන ඒවායෙහි පවත්නා ගුණාත්මක තත්වයන් පිරික්සීමෙන් අනතුරුව ය. එහි දී ඒ සියල්ල ම අධ්‍යාපනයට යට ය. එබැවින් තාරුණ්‍යයෙහි රැඳෙන තරුණයින්ට, විශේෂයෙන් යොවුන්වියේ පසුවන පාසැල් තරුණයින්ට ඒ බැව් හොඳින් වටහාදිය යුතුය.
- චතූ -
Aththa kathawa dr...
ReplyDeleteThanks dr..
ReplyDelete