නූතන ගීත රසවින්දන කලාව
එදිනෙදා ජීවිතයේ දී මිනිසුන් විසින් තම කාර්යබහුල හා විඩාබර මානසිකත්වය මගහරවා ගැනීමට විවිධ රසවින්දන මාධ්‍යයන් උපකාර කර ගනියි. ඉන් එක් මාධ්‍යයක් ලෙස ගීත රසවිඳීමේ කලාව හැඳින්විය හැකියි. එයිනුත් එක් එක් පුද්ගලයාගේ රුචිඅරුචිකම් අනුව එය වෙනස් වෙයි. විශේෂයෙන් ම නූතනය තුළ දක්නට ලැබෙන ගීත මාධ්‍යයේ ඉතා විශාල ඛේදජනක කරුණ වන්නේ ඒවායෙහි කිසිදු හරයක් නොමැති මහා ඝෝෂාකාරීත්වයක් පමණක් ගෙන දෙන ගීතයන් වීමයි. එහි කිසිදු ගුණාත්මක භාවයක් නැත්තාසේ ම කනට ප්‍රියතාවයක් ද නොමැත. නූතනයේ අසන්නට තරම් ප්‍රිය උපදවන ගීත ඇත්තේ ඉතාමත් අතළොස්සකි. මෙය සැබවින් ම කණගාටුවට කරුණකි. එහෙත් මෙම යුගයට පෙර යුගයන්හි දී ගැයූ සහ රචනය කරන ලද ගීත ඉතා අමන්දානන්දනීයය. ඒවා තුළ ඉතා හරවත් උපදේශයන් ගැබ් ව තිබූ අතර සවන පිනවන මිහිරත්වයක් ද නිරන්තරයෙන් ම අන්තර්ගත විය. එම ගීත අද පමණක් නොව තවත් දශක ගණනාවක් ගතවුව ද ඒ සමාජයන්ට ද ඔබින මෙන් ම සුදුසු රසවින්දනයක් එම ගීතයන්හි ගැබ් ව ඇත. නමුත්, සමකාලීන ව රචනාකොට ගැයෙන බොහෝමයක් ගීත ශ්‍රවණයකොට ළඟා කර ගත හැක්කේ මානසික රසවින්දනයක් නොව ව්‍යාකූල වූ මනස තව තවත් ව්‍යාකූලත්වයකට ඇද දමන නිස්සාර බවකි. සැබවින් ම එම ගීත කනට මිහිර ගෙන දෙනවා වෙනුවට ඇසෙනුයේ මහා විලාපයකි, නැතහොත් මහා අදෝනාවකි.
මෙවැනි තත්වයක් සමාජය තුළ ගොඩනැගීමට හේතු වී ඇත්තේ කිනම් කරුණු විය හැකි ද? මෙවැනි ඉතා බොළඳ ගීත රසවිඳින අත්දැකීම් නොලත් පාසැල් ළමුන් හා තරුණ ප්‍රජාව ඒවා ග්‍රහණය කර ගනුයේ කිනම් ආකාරයකට ද යන්න ගැටලුවකි. ඔවුනගේ ඇතැම් හදිසි තීරණයන්ට මේවා කොතෙක් නම් බලපානවා ඇති ද? ඔවුනගේ බොළඳ මානසිකත්වයට මෙවන් බොළඳ ගීත තුළින් කෙරෙනුයේ “පනින රිළවුන්ට ඉණිමන් තැනීමකි.” ඇතැම් ගීත තුළ අන්තර්ගත වනුයේ සමාජය හා සංස්කෘතිය මඟින් අයහපත් යැයි ප්‍රතික්ෂේප කරන ලද ඒවාය. නමුත් එවැනි දේ මෙම ගීත තුළ ඉතා සාමාන්‍ය දේවල් ලෙස ඉදිරිපත් කරයි. එවිට වක්‍රාකාර ව එමඟින් සිදුකරනුයේ සමාජයේ සිටින අනාගත තරුණ පරපුර ආගාදයට ඇද දැමීමක් නොවේද? එපමණක් නොව මෙම ගීත තුළ දික්කසාදවීම්, අපරාධ, මංකොල්ලකෑම්, අල්ලස, අනියම් සබඳතා වැනි දේ ද රැල්ලට ගිය සාමාන්‍යකරණය වූ දෙයක් ලෙස ඉස්මතු කර දැක්වීම ඔස්සේ තරුණ ප්‍රජාව අතර මෙන් ම විවාහ වී දරුවන් ලැබ සිටින දෙමව්පියන් ද මෙවන් අයහපත් ක්‍රියාවන්ට යොමු වී ඇති ආකාරය බහුල ව දැකිය හැක. මෙකී ගණයට අයත් ගීත සඳහා නිදසුන් රාශියක් දැක්විය හැකි නමුත් ඒවා මොනවාදැයි මා මෙහි සටහන් නොකරමි. මෙමගින් ගම්‍ය වන්නේ සමකාලීන සමාජය තුළ සාමාන්‍යකරණයට ලක්ව ඇති සාපරාධී ක්‍රියාවන්ට හා පවතින සමාජ තත්වයට ගීත සාහිත්‍ය තුළින් ද මනා වූ රුකුලක් ලැබී ඇති බව නොවේද?
අප කුඩා කාලයේ දී ළමුන් සඳහා ම විශේෂිත වූ ගීත රසවින්දන කලාවක් පැවතිණි. එම ගීත අතර “මිදුලේ වැලි මාළිඟාව..., නිල් අහස්තලේ..., සකලබුජං..., ටක් ගානවා ටික් ගානවා...” වැනි ඉතා ජනප්‍රිය ළමා ගීත රාශියක් දක්නට ලැබුණි. නමුත්, අවාසනාව යනු, වත්මනේ එවැනි කිසිදු ගීතයක් අසන්නට නොලැබීමයි. කෙටියෙන් ම කියතොත් වර්තමානයේ ළමුන් සඳහා වෙන් වූ ළමා ගීත සාහිත්‍යයක් නොමැත. මේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ ළමුන් සඳහා තරු සංකල්පය පදනම්කොට ගත් ගීතමය රියැලිටි වැඩසටහන් පැවතියද ඒවා සඳහා පැමිණෙන බොහෝමයක් දරුවන් ගායනා කරනුයේ ළමා ගීත නොව වැඩිහිටියන්ට සුදුසු ගීතය. ළමා ගීත ඔවුන්ගෙන් විමසුව ද ඔවුන් එකී ගීත හඳුනන්නේ නැත. වත්මනේ දක්නට ලැබෙන්නේ දිනෙන් දින අභාවයට යමින් අතිශය පරිහානියට පත් වන ගීත සාහිත්‍යයක් පමණකි. එය එසේ සිදුවන්නට ඉඩ දිය යුතු නැත. සමාජයේ ඉතා නිර්මාණශීලී අදහස් ඇති බොහෝ අය සිටිති. නමුත් ඛේදවාචකය වන්නේ ඔවුන් තමා සතු ව පවතින නිර්මාණකරන කුසලතාවය හඳුනා නොගෙන සිටීමයි. එසේත් නැත්නම් ඒ සඳහා කාලය මිඩංගු කිරීමට ඇති නොහැකියාවයි. එබැවින් මා මෙම ලිපිය ඔස්සේ එවැනි සියලු නිර්මාණකරුවන්ට ඉතා විවෘත ඇරයුමක් සිදු කරමි. ඔබ තුළ සැඟව ඇති නිර්මාණශීලී හැකියාවන් තවදුරටත් සඟවා තබා නොගෙන ක්‍රියාවෙහි යොදවන්න. ඔබේ එම නිර්මාණශීලී වටිනා අදහස් කිනම් හෝ මාධ්‍යයක් උපයෝගී කර ගනිමින් ඉදිරිපත් කිරීමෙන් ඔබට තවත් අයෙකු තුළ පවතින චර්යාවෙහි හෝ හැඟීම්වල යහපත්වූත්, ගුණාත්මකවූත් වෙනසක් සිදු කිරීමට හැකිවේවි. අවසානයේ එමඟින් ඔබට ද සුවිසල් ආත්ම තෘප්තියක් ලබා ගත හැකි අතර දිනෙන් දින පරිහානියට ලක්වන සමාජය ඔබේ නිර්මාණශීලී අදහස් තුළින් නැවත ගොඩනගන්නට ස්ථිරව ම හැකිවනවා නොඅනුමානය.
maruuuu
ReplyDeleteThanks battiii...
ReplyDeleteGood thoughts
ReplyDeleteThanks dr...
DeleteTrue story
ReplyDelete