Monday, July 30, 2018

"Ellum Gaha"

“එල්ලුම් ගහ”




නූතනය වන විට විවිධාකාරයේ සාපරාධී ක්‍රියා දිනෙන් දින වැඩි වන ආකාරය මාධ්‍ය ඇසුරු කරන ලොකු කුඩා ඕනෑම අයෙක්ට දක්නට ලැබෙන සුලබ කරුණකි. මෙවන් අපරාධ බහුල ව සිදුවීමට බලපානු ලබන බොහෝ කරුණු සමාජයේ කොතෙකුත් දක්නට ඇත. එසේ ම එවන් සෑම අපරාධයකට ම නිර්දේශිත වූ දඬුවම් ක්‍රමයක් ද ඕනෑම රටක් තුළ පවත්නා නීතය තුළ අන්තර්ගතය. ඒ අතරින් එල්ලුම් ගස වූ කලී එම නීත්‍යානුකූල දඬුවම් අතර පවත්නා අවසාන දඬුවම් ක්‍රමය ලෙස හැඳින්විය හැකි දඬුවම් ක්‍රමයකි. මෙම දඬුවම් ක්‍රමය විවිධ රටවල් තුළ භාවිත කරන නමුත් ඇතැම් රටවල් තුළ විවිධ හේතූන් මත මෙකී දඬුවම් ක්‍රමය භාවිත නොකරයි. 


ලංකාව තුළ ද මෙම දඬුවම් ක්‍රමය අවස්ථාවන් කිහිපයක දී ම ක්‍රියාත්මක වූ නමුත් පසුකාලීන ව එය ලාංකීය නීතිය තුළින් ඉවත් කරන ලදි. නමුත්, වර්තමානය වන විට පවතින වාතාවරණය තුළ උද්ගත ව ඇති තත්වයන් හේතුකොට ගෙන නැවතත් ලාංකීය නීතිය තුළට මෙම දඬුවම් ක්‍රමය ගෙන ඒමේ පසුබිමක් නූතනයේ දක්නට ඇත. එහෙත් මෙම දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුළින් සිදුවිය හැකි ප්‍රතිඵලයන් කිහිපයක් ඇත. එනම්, මෙවන් දඬුවම්වලට පවත්නා බිය නිසා මිනිසුන් සාපරාධී ක්‍රියා සිදුකිරීමට බිය වෙති. එමඟින් සමාජය තුළ අපරාධ සිදුකරන්නන් යම්තාක්දුරට හෝ අවම කිරීමට හැකියාවක් ඇත. එසේ ම මෙම දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඔස්සේ ලැබෙන ඊළඟ ප්‍රතිඵලය වූ කලී ඉතාමත් කණගාටුදායක ප්‍රතිඵලයකි. එනම්, යම් වරදකට වරදකරු වූ පුද්ගලයෙකුට නීතියෙන් එල්ලුම් ගස නියම කළ ද සැබෑවට ම එම පුද්ගලයා වරදකරු නොවිය හැකිය. එවිට එතරම් කුරිරු දඬුවමකට මුහුණපෑමට සිදුවන්නේ නිර්දෝශී පුද්ගලයෙකුටය. එය කෙතරම් ශෝකජනක සිදුවීමක් විය හැකිදැයි ඔබට මෙතකැයි තක්සේරු කළ හැකි ද? වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දුන්නාට කම් නැත. නමුත්, සත්‍ය වශයෙන් ම එවැනි වරදක් සිදුනොකළ පුද්ගලයෙකු හට එවන් දඬුවමකට මුහුණ දීමට සිදුවීම කෙතරම් අසාධාරණ ද යන්න මොහොතක් සිතා බැලිය යුතුය. 


එවැනි අසාධාරණ සිදුවීමකට ඔබේ පියාට, සොහොයුරාට නැත්නම් ඔබේ දරුවාට මුහුණ දීමට සිදුවුවහොත් ඔබ කිනම් තත්වයකට පත්වේදැයි මොහොතක් සිතා බැලිය යුතුය. අනෙක් සෑම කරුණකට ම වඩා නිවැරදි පුද්ගලයෙකු අපරාධකරුවෙකුකොට එවන් දඬුවමකට බඳුන්වීමට සිදුවීම සමස්ත සමාජය තුළින් ම එකී පුද්ගලයාට කරනු ලබන සාපරාධී ක්‍රියාවකි. වෙනත් කෙනෙක් කළ වරදකට තම දිවියෙන් වන්දි ගෙවා දැමීමට කිසිම පුද්ගලයෙකු කැමති වන්නේ නැත. එමනිසා එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කරන්නැයි හඬ නගන මිනිසුන් මෙම පැතිකඩ පිළිබඳ ව ද සංවේදී ව මොහොතක් සිතා බැලිය යුතු ම ය. එසේ නොවුනහොත් මෙම දඬුවම් ක්‍රමය හෙට දිනයේ දී නිර්දෝෂී වූ ඔබේ පවුලේ අයෙක්ට වුව මුහුණ පෑමට සිදුවිය හැකිය.                         
                                                                                                                             - චතූ -

3 comments:

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...