ජනශ‍්‍රැතිය සහ මායා යතාර්ථය
දැනුමේ මූලිකාංගය ශ‍්‍රවණයයි. මානවයා දාරක අවධියේ දී දැනුම ලැබීම අරඹන්නේ ශ‍්‍රවණයෙනි. මේ මවය, මේ පියාය යනාදී වශයෙන් අවට විද්‍යමානිත දැ පිළිබඳව නිරවුල් චිත‍්‍රය මනස තුළ ධාරණය කරගන්නේ හුදෙක්ම ශ‍්‍රවණමය මාධ්‍ය භාවිතාවෙනි. එමෙන්ම ජනශ‍්‍රැතියෙහි උපත මෙයයි. ආදිකාලීන මානව යුගයේ පටන් කලානුරූපී විකාශනය තුළ මෙකී ශ‍්‍රවණයේ පරිමාණයන් ද විවිධ තලයන්හි දී විවිධාකාරයෙන් ප‍්‍රකාශයට පත් වී ඇති අයුරු අධ්‍යයනයන් තුළ පසක් වෙයි.
මිනිසා සිය අදහස් හුවමාරු කර ගැනීමට භාෂාව යම් අවධියක උපයෝගී කොට ඒ අවධියෙහිම ජනශ‍්‍රැතිය ආරම්භ වූයේ යෑයි සිතිය හැකිය. තිඹිරි ගෙයෙහි සිට සොහොන් ගෙය දක්වා යන මානවයාගේ ජීවන කාලය තුළ හෙතෙම ජීවත් කරවන අවිඥානික මාධ්‍යයක් ලෙසින් පැවති ජනශ‍්‍රැතිය, ජාතික සංස්කෘතියක් දැන ගැනීමටත් එයට අයත් කරුණු සෙවීමටත් අතිශයෝපකාරී වන්නකි.
ජනශ‍්‍රැති වනාහි තනි පුද්ගලයකුගේ අවශ්‍යතාවක් නිසා ඇතිවන්නක් නොවේ. එය සමාජීය අවශ්‍යතාවක් අනුව ඇතිවන්නකි. තනි පුද්ගලයකුගේ අවශ්‍යතාවක් පිණිස සිදු නොවීම ජනශ‍්‍රැතියේ විශේෂ ලක්ෂණයකි. එබැවින් ජනශ‍්‍රැතිය අතීතයට හෝ වර්තමානයට පමණක් අදාල වූවක් නොව, සමාජීය, දේශපාලනික, සංස්කෘතික වශයෙන් අනාගත යුගයන් වෙත ද දැනුම් සම්පේ‍්‍රෂණය කරන මාධ්‍යයකි. මෙය හුදෙක් ම මානවීය නිෂ්පාදනයක් වන නිසාවෙන් මානව වංශ කතාව යම් දිනක අවසන් වේද ඒ දක්වා ගමන් කරන අකාලික සමාජමය ඥානයක් ලෙසින් ද හඳුනා ගත හැකිය.
ජනශ‍්‍රැති යන වචනද්වයෙහි සංගතියෙන් උපන් මෙහි ජනශ‍්‍රැතිවේදී ඇලන් ඩන්ඞ්ස්ගේ පැහැදිලි කිරීමට අනුව ජනයා යනු අවම වශයෙන් එක හා සමාන එක සාධකයකින්වත් සමන්විත වූ මනුෂ්‍ය කොට්ඨාසයකි. ශ‍්‍රැ ධාතුවෙන් නිපන් ශ‍්‍රැති යනු මුඛ පරම්පරාගතව පවත්වා ගෙන ආ දැය. ඉංග‍්‍රීසි භාෂාවෙහි ඛදරු යන පාරිභාෂිකයෙන් කියෑවෙන පරිදි කිසියම් ජන කොටසක් අතර පවත්නා සාම්ප‍්‍රදායික දැනුම මින් අදහස් වෙයි. ත්‍දකන ඛදරු, ඉසරා ඛදරු, ඨහචිහ ඛදරු ආදිය උදාහරණ වෙයි. ප‍්‍රමුඛ ජනශ‍්‍රැති පර්යේෂකයන් දෙපළක් වන ජර්මන් ජාතික මැක්ස්මුලර් (1856) හා තියඩෝර් බෙන්iිගේ (1859) විශ්ලේෂණයට අනුව ග‍්‍රන්ථාරූඪ නොවී ජනයා විසින් අසන ලදුව පරම්පරාවෙන් පරම්පරාවට, සංස්කෘතියෙන් සංස්කෘතියට ඇසීමෙන් උරුම කර ගත් කටවහරෙන් ආරක්ෂා කරගත් දැනුම් සම්භාරය පිළිබිඹු වන කතන්දර, කවි, රූඪි, පිරුළු, නැලවිලි ගී, තේරවිලි ගී, තොවිල් කවි, මන්තර හා යාදිනි යනාදී බොහෝ දැ ජනශ‍්‍රැතියෙහිලා ගැනෙයි.
ජනශ‍්‍රැතිය තුළින් හඳුනාගත හැකි හා ඒ තුළින් විසරණය කෙරෙන මානවීය විඥානයේ ස්වරූපයන් කවරාකාර ද යන වග පුළුල්ව සංවාදයට බඳුන් කිරීම ද මෙමගින් සිදු කෙරෙයි. ජනශ‍්‍රැතීන් කෙරෙහි බලපෑ මානව අද්දැකීම් හා මනෝභාවයන් පිළිබඳව විස්තාරිත ලෙස අධ්‍යයනය කරන කල්හි පෙනී යන්නේ ඒ සඳහා බොහෝ දුරට ජෛව ලෝකය බලපා ඇති බවය. තණ කොල ගසේ සිට වනස්පති රුක් දක්වා වූද, කුරා කුහුඹුවාගේ සිට දැවැන්ත අලි ඇතුන් දක්වා වූද. හාල්මැස්සාගේ සිට නිල් තල්මසා දක්වා වූද, මදුරුවාගේ සිට රාජාලියා දක්වා වූද, සත්ත්ව සමූහයේ නියෝජනය ජෛව ලෝකයයි. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයට අනුව මානවයා ද මුලින් උක්ත සත්ත්ව කොට්ඨාසයට අයත් වූවෙකි. ක‍්‍රමිකව මනසින් සංවර්ධනයට පත් ව ”මිනිසා” යන නාමය දරන තත්ත්වයට පරිවර්තනය වූ මෙම සත්ත්වයා තමා සමඟ දිවි ගෙවූ අතීත මිතුරන් පිළිබඳව මතකයන් ශ‍්‍රැතිය හරහා පවත්වාගෙන එන්නට විය. ඒ නිසා ජනශ‍්‍රැති ක්ෂේත‍්‍රයේ විශාල ඉඩක් සත්ව ශ‍්‍රැති සඳහා වෙන්ව තිබෙනු හඳුනා ගත හැකිය.
සත්ත්වයන් සිවුපාවුන්, කුරුල්ලන් මත්ස්‍යයන් මෙන්ම අධිස්වාභාවික සතුන් හා සම්බන්ධ ජනශ‍්‍රැති සත්වශ‍්‍රැති” ලෙස නන්දසේන රත්නපාලයෝ දක්වති. මානව ඉතිහාසයේ යුග පරිණාමය කෙරෙහි නෙත් යොමු කිරීමේදී ද පෙනී යන්නේ මෙකී තත්ත්වයේ සත්‍යතාවමය. වනගත දඩයම් යුගයේදී මිනිසා අහර පිණිස සතුන් වෙත සමීප විය. එෙණීර යුගයේ දී සපුරාම සතුන් පසුපස ජීවිතය දිග හැරුණි. ඉන් පසුව කෘෂිකර්මාන්තය ආශ‍්‍රිත ජීවිතය සත්ත්ව ලෝකයත් ශාක ලෝකයත් අතර මනා සංකලනයක පසුතලය මත ඉදිරියට ඇදුණි. නූතන කාර්මික ලෝකයේ ද සතුන් විවිධ අංශවලදී මානවයා හා සම්බන්ධ වී තිබේ. වර්තමානයේ පවතින සත්ත්ව - මිනිස් සබඳතාවයට වඩා පෙර දවස පැවැති සබඳතාව සැබවින් ම ලෙන්ගතු වූ බව පැහැදිලිය. එකී ලෙන්ගතුකම් මත උත්පාදිත සතුන් පිළිබඳ දැනුම සත්වශ‍්‍රැති තුළ මානවයා විසින් ගැබ් කොට තිබෙනු හඳුනාගත හැකිය. සත්ත්ව ලෝකයා හා සම්බන්ධ අත්දැකීම් ආශ‍්‍රිතව නිර්මිත ජනශ‍්‍රැතීන් මගින් සත්ත්ව හැසිරීම් ස්වභාවයන් උන් කෙරෙහි දැක්වු ආකල්ප සංකල්ප විශ්වාස ආදී විවිධ කරුණු නිරූපණය වෙයි. සිවුපා, කුරුලූ, උරග ආදි සියලූ ම සත්ත්ව වර්ග ජනශ‍්‍රැති තුළ සැරිසරනු පෙනේ.
කවර ජනශ‍්‍රැතියකට වුවද පාදක වන්නේ ජනයා ජීවිතය හා පරිසරය ඇසුරින් ලබන අත්දැකීම් හා හැඟීම් දැනීම් ය. පරිසරය මිනිස් අවශ්‍යතා සඳහා ගලපා ගන්නා ආකාරය තුළ මිනිසා අත්දැකීම් ලබා ගනී. අතීත මිනිසා ස්වභාව ධර්මයේ විවිධ සංසිද්ධි පිළිබඳ යථාරූපීව වටහා ගත නොහැකි වූ තැන ඒවාට ජීවත්‍වාරෝපණයක් දී වැඳුම් පිදුම් කිරීමටත්, විවිධ විශ්වාස පද්ධති ගොඩනගා ගැනීමටත් පුරුදු විය. ඒවා ජනශ‍්‍රැතිය ඔස්සේ පැවත එමින් අතීත ජන විඤ්ඤාණය හෙළි කරයි. ජනශ‍්‍රැතියේ සෑම අංගයකම ජන විඤ්ඤාණය ගැබ්ව තිබෙනු හඳුනා ගත හැකිය. ජන විඥාණය යනු ජනශ‍්‍රැතියේ ගැබ්ව ඇති මානවයාගේ ආකල්ප, සංකල්ප, හැඟීම්, දැනීම් ආදියයි. ජනශ‍්‍රැතියේ වාච්‍යාර්ථයට ඉඳුරාම විරුද්ධ අදහසක් අභ්‍යන්තර වශයෙන් අඩංගු විය හැකිය. ජනශ‍්‍රැතිය ආශ‍්‍රයෙන් ගැමි ජන සංස්කෘතිය පරීක්ෂා කරන කල ඒ දෙස මතුපිටින් බැලීම පමණක් නොසෑහේ. එහි බාහිර පෙනුම හෙවත් දෘශ්‍ය මානය විනිවිද යැමෙන් අන්තර්ගත හරය අවබෝධ කර ගත යුතුය. ජන කවියක, ජන කතාවක හෝ ජනප‍්‍රවාදයක දෘශ්‍යමානයට හාත්පසින් ම විරුද්ධ වූ අදහසක් එහි ගැබ්ව තිබීමට පුළුවන.
ජනශ‍්‍රැතිය තුළ වාච්‍යාර්ථය ඉක්මවා ගිය ව්‍යංගාර්ථය ජන විඥාණය ලෙසින් හඳුනා ගත හැකිය. ජනශ‍්‍රැති අධ්‍යයනය කරන කල්හි පෙනී යන්නේ යම් ශ‍්‍රැතියක මිනිසාට අන්තර්ගත කිරීමට අවශ්‍ය වූ දෙස සෘජුව ම නොපවසා එය ඉතා නිර්මාණශීලී ව ඉදිරිපත් කොට ඇති බවයි. ස්වකීය විඥාණය ඉදිරියට ගෙන යැමට ජනයා අපූර්ව ක‍්‍රමවේදයක් භාවිත කොට ඇති ආකාරය ජනශ‍්‍රැතියේ සෑම අංගයකින් ම විද්‍යමාන කරනු ලැබ ඇත. එකී ක‍්‍රමෝපායන් අපේක්ෂිත පරමාර්ථ මෙසේ වර්ග කළ හැකිය.
01. සාහිත්‍ය රසය ඔස්සේ සාරධර්ම සංස්කෘතිකාංගවල අගය මිනිසුන්ගේ උප විඤ්ඤාණයේ තැන්පත් කිරීම.
02. තත් කාලීන සමාජයේ පවත්නා සංස්කෘතික ආගමික හෝ දේශපාලන ආවරණ සියුම් ලෙස මඟහැරීම.
03. ප‍්‍රකාශකයාගේ බහුශ‍්‍රැතභාවය වාගාඩම්බරය තුළින් දැක්වීම.
04. වාචනා මාධ්‍යයෙන් පවත්වාගෙන එනු ලබන යම්කිසි ශිල්පයක හෝ දැනුම් සම්භාරයක හෝ පරිමිත බව ආරක්ෂා කිරීම
යනාදී වශයෙනි.
සොබා දහම හා බද්ධ වූ මිනිසා විසින් තමා දුටු අපූර්වත්වය, වටහා ගැන්මට අපහසු දැ, දැනුන තනිකම තමා සන්තක දැනුම ආදී සෑම ඉසව්වක්ම නියෝජනය කිරීම උදෙසා නිර්මාණය කරනු ලබන ජනශ‍්‍රැතිය නමැති අංගයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ගබඩා කොට ලබන ලද විඥ්ඥාණයේ පරිමිතයන් කවරේද යන වග මැනවින් වටහා ගැනීමට ජනශ‍්‍රැති විදාරණය කොට බැලිය යුතුමය.
මායා යතාර්ථවාදී සංකල්පය බිහිවීමෙහි ඓතිහාසික පසුබිම විමසීමේ දී එකී කරුණු මෙසේ අධ්‍යයනය කළ හැක. ලෝකයේ සෑම මහද්විපයක් ම තම භූගෝලීය පිහිටීමට,නැතහොත් ජනවර්ගයන්ට, සමේ පැහැයට, භාෂාව හෝ ආගමික ඇදහිලි වලට අනන්‍යයවේ. ඉන්කා, මායා, ඇස්ටෙක් වැනි වටිනා ශිෂ්ටාචාරයන් හිමි ව තිබු ලෝක සිතියමේ දකුණු හා මධ්‍යම ඇමරිකාව නම් වූ කොටස් හි පිහිටි ලතින් භාෂාවෙන් ව්‍යුත්පන්න වූ භාෂාවන් කිහිපයක් කතා කරන ජනවර්ගයන් දිවි ගෙවන සොබාදමින් සුපෝෂිත භුමි ප‍්‍රදේශයන් ලතින් ඇමරිකානු රාජ්‍යයන් ලෙස හඳුන්වනු ලැබේ.
ඒ පහළොස්වන සියවසේ දී පමණ ය. මෙය යුරෝපය ඉහළින් නිතර නිතර වල්ගා තරු පෑයූ කාලයකි. නව ලොව සොයා ගිය බලපත‍්‍රලාභී ලෝක මංකොල්ලකරුවන් වන යුරෝපීය ආක‍්‍රමණිකයන්ගේ නාවික යාත‍්‍රාවන් මුලින් ම මෙම ලතින් දේශයන් හි රන් පැහැ වෙරළ තීරයන් වෙත පැමිණියේය. ඒ තුවක්කුව හා කුරුසිය තම දෙවුරෙහි රඳවාගෙනය. ස්පාඤ්ඤ, පෘතුගීසි හා ප‍්‍රංශ ආදී ජාතීන්ට අයත් වූ ඔවුහු, මෙම රාජ්‍යයන්ගේ සියලූ ම අනන්‍යයතාවන් නැතිකොට, එහි උරුමයන් සියල්ල තමන් සතු කර ගත්හ. එතැන් සිට මේ දක්වා සංස්කෘතික, කලා, භාෂා, මෙන් ම ජිවන විලාසයේ ද ලොව අන් ජන වර්ගයනට වඩා වෙනසක් ලතින් වැසියන්ගෙන් දක්නට ලැබිණි. වත්මන් ලෝක සාහිත්‍යයේ ද නිර්මාණාත්මක කරනම් ගසන්නන් රාශියක් මේ වනවිට ලතින් කලාපයෙන් සොයාගත හැකි විය.
මිත්‍යා විශ්වාස, ඇදහිලි ආදියෙන් පෝෂණය වුණු ලතින් ඇමෙරිකානු ජන විඥානය තම නිර්මාණකරණය තුළට යොදා ගනිමින් නවමු වූ ස්වරූපයන් හා හැඩ තලයන් සාහිත්‍යය ඇතුළු අනෙකුත් කලාවන්ට දායක කිරීමේ පුරෝගාමීන් බවට පත්වූයේ මෙම ලතින් සාහිත්‍යයකරුවන්ය. මෙයින් ප‍්‍රමුඛ වන්නේ ඔවුන් විසින් යොදා ගනු ලැබූ ලැබූ ඉන්ද්‍රජාලික නැතහොත් මායා යථාර්තවාදය නම් වූ නිර්මාණාත්මක ශෛලියයි. එම මායාවී ස්වරුපයේ නිර්මාණ රාශියක් ලතින් දේශන්ගෙන් බිහි වූ නිසා ම විශ්ව සාහිත්‍යයේ මායා කාරයන්ගේ භූමිය ලෙසද මේ විචිත‍්‍රවත් ලතින් ඇමරිකා කලාපය හැඳින්විය හැකිය. ඉන්ද්‍රජාලික නැතහොත් මායා යථාර්තවාදය නම් වූ නිර්මාණාත්මක ශෛලියේ පේටන් බලපත‍්‍රය ඔවුන්ට හිමි විය යුතුද යන්නට විවාද සම්පන්න මතභේදයන් තිබුනද , දකුණු හා මධ්‍යම ඇමරිකානු ප‍්‍රදේශ මෙම ආරයේ සාහිත්‍යකරුවන් බොහොමයකට නිජ බිම විය. මෙම ලතින් මායාකරුවන් විසින් විසිවන සියවසේ අවසානය වන විට ලොව පුරා නිර්මාණකරණයේ යෙදෙන්නන් වෙත කරන ලද බලපෑම අති මහත්ය. එය සාහිත්‍යයෙන් ඔබ්බට ගොස් සිනමාව, චිත‍්‍ර කලාව ආදී අනෙකුත් මිනිස් හැඟීම් මතු කර දක්වන කාව්‍යමය ප‍්‍රකාශන තුළට ද ආරෝපණය වුයේය.
අප භෞතික ව ස්පර්ශ නොකරන නමුත් මනසින් ස්පර්ශ කළ හැකි ඉන්ද්‍රජාලික මුලද්‍රව්‍යයන්, යථාර්ථවාදී අවකාශය හා මුසු කොට ගැඹුරු වූ සත්‍යයක් මතු කර ගැනීමේ නිර්මාණාත්මක ප‍්‍රබන්ධ විලාසයක් ලෙස ඉන්ද්‍රජාලික නැතහොත් මායා යථාර්තවාදය හැඳින්වී හැකිය. මෙහි දී යථාර්ථය හා මවා ගන්න ලද විචිත‍්‍රත්වය එකම ප‍්‍රවාහයක් තුල ගලා යාමක් පෙන්නුම් කරයි. අප ජිවත්වන ලෝකයේ අපට පහසුවෙන් විස්තර කළ නොහැකි කාරණාවන් , ඔප්පු කළ නොහැකි හොල්මන්, අවතාර, සුරංගනාවන් වැනි මායාවී චරිත හා අපට සැබෑ ලෝකය තුල සිදු වේයැයි විශ්වාස කල නොහැකි සිද්ධීන් තුල බහා මුසු කොට ඉදිරිපත් කිරීමෙන් සාමන්‍යය යතාර්ථවාදී ප‍්‍රබන්ධයන් හට පහසුවෙන් යා නොහැකි ඉසව්වක සැඟවුණු අර්ථ නිරුපණය කිරීමක් මේ හරහා සිදුවෙයි. එමෙන්ම සියලූ ම නිර්මාණ මාධ්‍යයන්ගේ සැලකිය යුතු මුලිකාංගයක් වන කාලය හා අවකාශයට ලැබිය යුතු වූ ඉඩකඩ මායා යථාර්ථවාදය තුළ දී නොලැබේ. එනිසා මෙම ප‍්‍රබන්ධයන්හි චරිත වල වයස ඇතැම්විට දී සාමාන්‍ය ජනයාගේ ආයු සීමාවන්ට යටත් නොවේ. මෙවැනි විපරීත හා අභව්‍යය චරිත හා සිද්ධීන් මතින් මෙම ශෛලියේ කෘතීන් නිර්මාණය වෙයි.
මායාකාරුවන් අතරේ ඉහළින් ම කියවෙන නාමයක් ලෙස කොලොම්බියානු ලේඛක ගේබි‍්‍රයල් ගාර්ෂියා මාකේස් හැඳින් විය හැකිය. ඔහු 1967 වර්ෂයේ රචනා කල ”සියවසක හුදකලාව” නම්වූ කෘතිය ඔහුට මායාකරුවන් අතර නායක තනතුර හිමි කර දීමට මූලික විය. කෙසෙල් ජනරජය යන අර්ථ ඇති මැකොන්ඩෝ නම් මනඃකල්පිත දේශයක් පිලිබඳ සිහින දකින ජෝස් අර්කාඩියෝ නම් වූ පුද්ගලයා එය සැබෑවක් බවට පත් කර ගන්නා අයුරුත් පසුව මැකොන්ඩෝ නම් වාසනාවේ දේශය, මහා සුළි සුළඟකින් විනාශවී යන ආකාරයත් මෙහි නිර්මාණය වී ඇත. ඒ මතින් වාසනාවේ හා අවසානවේ ක‍්‍රියාකාරීත්වය මාර්කේස් අපට අවබෝධ කරවයි.
සැබවින්ම විසිවන සියවසේ විශිෂ්ටම කතා කියන්නාගේ ඉන්ද්‍රජාලයකි. මෙම රීතිය තුල තම පෑන සහ මෙහයවිමට නැතිනම් මෙවැනි චින්තනයක් පහල වීමට තමාට බලපෑ ප‍්‍රධාන සාධකයක් වුයේ විසිවන සියවසේ අසිරිමත් ලේඛක ෆ‍්‍රාන්ස් කෆ්කා නම් නොබෙල් ත්‍යාගලාභී ජර්මානුවා බව මාකෙස්ගේ අදහසයි. කෆ්කා අතින් මායායතාර්ථවාදී රීතියෙන් පර්යේෂණාත්මක වියමන් කිහිපයක් ලියවී තිබුණි. ඔහුට එම අභාසය ලැබීමට ඔහු වාසස්ථානය ලෙස තෝරා ගත් භූමිය වන ප‍්‍රාග් නුවර ලතින් බිමක් නොවූවද ලතින් මායාකාරයන්ට කෆ්කාගේ දැනුමේ සාරය උරා බීමට එය බාධාවක් නොවීය. ඔහු විසින් රචිත රුපාවන්තරණය නම් සුවිශේෂී නවකතාව අධියථාර්ථවාදී ශෛලියට අනුගතව ලියා ඇතිමුත් එය ඉන්ද්‍රජාලික ලක්ෂණ ද සහමුලින්ම ප‍්‍රදර්ශනය කෙරුණු කෘතියකි. මෙහි අන්තර්ගතයට අනුව කෆ්කාගේ වෑයම මතින් පාඨකයාට පෙර නොවිඳි රසාස්වාදයක කම්පනයක් ඇති කරවනු ලැබීය . එහි ප‍්‍රධාන චරිතය වන සම්සා නම් සංචාරක විකුනුම්කරුවා එක් දිනක උදෑසන අවදිවන විට රූපය යෝධ කෘමියෙකු බවට පරිණාමය වෙයි. ඒ මතින් ඔහු තම පවුලේ සාමාජිකයින් සමඟ මෙන්ම සමාජීය හා භාවාත්මක වශයෙන් තම අභ්‍යන්තරයෙන් ඇති වන්නාවූ සැබෑ රූපාන්තරණය ඉස්මතු කර පෙන්වනු ලැබේ.
එමෙන්ම ආරම්භක අවදියේ දී ලතින් ඇමරිකාව තුළ මෙම සිද්ධාන්තයන් වගා කල ජෝර්ජ් ලූවි බෝගස් හා තවත් ඔහුගේ සමකාලින ලේඛකයන්ගේ ආභාසය ද ගාර්ෂියා මාර්කේස් වෙත මනාව ලැබී තිබුණි. මාකෙස්ම පවසන පරිදි තමා විසින් රචිත කෘතීන් හි ඉන්ද්‍රජාලිකත්වය පිලිබඳ ඔහු තුළ ම විසංවාදයක් පවතින බවයි. තම සිතා මත එසේ නොලියු අතර, තමාට තම ළමා කාලයේ දී විස්මය මතුවන කතන්දර කිසිදු අරුමයකින් තොරව තමාට කියා දුන් තම මිත්තනියගේ ක‍්‍රමෝපායන් ම තමාගේ ප‍්‍රකාශානවල දී ද භාවිතා කල බවය. ලතින් කලාපයේ මුතු ඇටය වන නිර්භීත කැස්ත්‍රෝගේ රටේ සිටි ඉන්ද්‍රජාලික තාක්ෂණය මනා හික්මීමෙන් හැසිරවූ අලෙජෝ කාපෙන්ටියර් , මුල් ම මායකරුවන්ගේ කණ්ඩායමේ සිටි ප‍්‍රබල සාමාජිකයෙකි. ඔහුගේ සාහිත්‍යකරණය අධි යතාර්ථවාදය හා මුසු වී පැවතුනි. දේශපාලනය හා සෘජුව ම සම්බන්දකම් පැවැත්වූ පසු කලෙක ප‍්‍රංශයේ කියුබානු තානාපතිවරයා ද වූ ඔහු ගේ නිර්මාණ අතර ද කින්ඩම් ඔෆ් දිස් වර්ල්ඞ් ප‍්‍රමුඛවේ. එමෙන්ම ඔහුගේ සමකාලීනයන් හා අනුප‍්‍රාප්තිකයන් වන බ‍්‍රසීලයේ ජෝර්ගෝ අමාඩෝ ආජෙන්ටිනාවේ ජුලියෝ කොර්ට්සාර් වැන්නන් ලතින් ඇමරිකානු සාහිත්‍යට මායාවට නතු කරගත් ලේඛකයන්ය. එමෙන්ම මේ වනවිට ලොව වැඩි ම පාඨකයන් පිරිසක් සමඟින් අකුරු ලියන බ‍්‍රසීලයේ පාවුලෝ කොහියෝ ද මොවුන් අතරට යා යුත්තෙකි. ඔහු ”ද අල්කෙමිස්ට්” කෘතිය ලියමින් ඉන්ද්‍රජාලික යතාර්ථවාදී රීතියේ අරුමය ලොවට පෙන්වා ඇත.
ලතින් මායාකරුවන්ට මෙන් බිම් වාසිය නැතිමුත් යුරෝපය සහ ආසියාව ද ඉන්ද්‍රජාලික සාහිත්‍යධරයන් නිමැවූ මහද්වීපයන්ය. ටින් බෙරය නම්වූ ප‍්‍රබන්ධය රචනා කල මහා ජර්මානු ලේඛක ගුන්තර් ග‍්‍රාස් මෙම මායා කරුවන්ගේ යුරෝපීය නියෝජනයේ ඉදිරියෙන් ම සිටින්නෙකි. ඔහුගේ ප‍්‍රබන්ධ අතර කැට් ඇන්ඞ් මවූස් වඩාත් කැපී පෙනෙයි. එමෙන්ම ”ජීවිතය අන් තැනක” ලියූ චෙක් ජාතික මිලාන් කුන්දේරා අරුම පුදුම කතාංග රචනා කල ඉටැලෝ කැල්විනෝ හා ලූයිස් බර්නියරස් මෙහි පෙරමුණේ සිටියි.
මායාකරුවන් පමණක් නොව මායාකාරියන් ද ලෝක සහිත්‍යයේ විරල නැත. චිලී දේශයේ ඉසබෙල් ඇලන්දේ ලතින් ශිෂ්ටාචාරයේ සාරය තම නිර්මාණ මතින් විසුරුවා හරින මායාකාරියකි. ඇය ඊවා ලූනා, ද හවුස් ඔෆ් ද ස්පිරිට් වැනි ලෝක මට්ටමේ කෘතීන් හි මැවුම්කාරියයි. රුවැති බි‍්‍රතාන්‍යය ලේකිඛාව ඇන්ජෙලා කාටර් නයිට්ස් ඇට් ද සර්කස් නම් වූ සැබෑ ම ඉන්ද්‍රජාලික ප‍්‍රබන්ධය රැුගෙන මායා ලෝකයට ඇතුල් විය. මායාකරුවන්හා මායාකාරියන් කුමක් රචනා කළ ද බොහෝ සරළ දේ සමඟ සිටින සාමාන්‍ය පාඨකයාට මෙම මායාකරුවන්ගේ ප‍්‍රබන්ධ, මැජික් නොව ග‍්‍රීක්, ලතින්, සංස්කෘත සම්මිශ‍්‍රණයක්ම වේ. නමුත් අප නිතර පරිශීලනය කර ඇති සහ අසා ඇති බොහෝ ජනකතාවල මෙන්ම පන්සීය පනස් ජාතක කතා පොතෙහි අන්තර්ගත බෝසත් චරිත කතා වන්හීද මෙවැනි ඉන්ද්‍රජාලික ගති ලක්ෂණ යහමින් අන්තර්ගතව ඇත.
පර්යේෂණ ග‍්‍රන්ථ සහ අන්තර්ජාලය භාවිත කරමින් සකසන ලද්දකි
- චතූ -